Advertisements
Advertisements

බලාපොරොත්තුවේ පණිවිඩය රැගෙන යන පාපැදි සවාරිය

LIVE

සියදිවි හානි වැළැක්වීම සහ මානසික සෞඛ්‍ය හා යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වසර 13ක් පුරා පැවැත්වෙන පාපැදි සවාරිය මෙම වසරේ දියත් කිරීමට නියමිතය.

ධෛර්යය, අනුකම්පාව, කැපවීම දර්ශණය කරගත් CCC පදනම විසින් සිය ප්‍රධානතම අරමුදල් රැස්කිරීමේ සහ මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන වන 1333 Bikeathon පාපැදි සවාරිය 13 වැනි වරටත් 2026 වසරේ දියත් කිරීමට නියමිතය.

ඒ අනුව 2026 අගෝස්තු මස (29) වන දින සිට සැප්තැම්බර් (10) දක්වා පැවැත්වෙන 1333 “Bikeathon” පාපැදි සවාරිය 2026 සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින පාපැදි ධාවකයින් ද එක්වනු ඇත.

ඔවුන්ගේ එකම අරමුණ වන්නේ 1333 අර්බුධ නිරාකරණ සහාය සේවාව සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීම සහ ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීමත්, අවශ්‍ය සෑම පුද්ගලයෙකුටම නොමිලේ සහ රහසිගතව මානසික හා චිත්තවේගීය සහාය ලබාගැනීමට ඇති අවස්ථාව අඛණ්ඩව සහතික කිරීමයි.

මානසික සෞඛ්‍ය සම්බන්ධ අභියෝග ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකුට බලපෑ හැකිය. ආතතිය, කාංසාව, තනිකම, ශෝකය, මානසික අවපීඩනය සහ චිත්තවේගීය පීඩාව වැනි තත්ත්වයන් හේතුවෙන් බොහෝ දෙනෙකු නිහඬව දුෂ්කරතා වලට මුහුණ දෙති.

ජනතාවට තම ගැටලු පිළිබඳව විවෘතව කතා කිරීමට, සවන් දෙන කෙනෙකු වෙත ළඟා වීමට සහ ඔවුන්ට වඩාත්ම අවශ්‍ය අවස්ථාවන්හිදී සහාය ලබාගැනීමට ආරක්ෂිත සහ කරුණාවන්ත පරිසරයක් සැපයීම සඳහා 1333 අර්බුධ නිරාකරණ සහාය සේවාව ස්ථාපිත කර ඇත.

1333 යනු, දිනකට පැය 24ම සහ වසරේ දින 365 පුරා ක්‍රියාත්මක වන 2009 වසරේ සිට සේවය සපයන නොමිලේ සහ රහසිගත අර්බුධ නිරාකරණ සහාය සේවාවකි.

1333හි පුහුණුව ලත් අර්බුද නිරාකරණ සහායකයින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් කරුණාවන්ත ලෙස සවන්දීම, චිත්තවේගීය සහාය සහ මඟපෙන්වීම ලබාදෙමින්, චිත්තවේගීය පීඩාවකට මුහුණ දෙන හෝ සරලව කතා කිරීමට කෙනෙකු අවශ්‍ය වන ඕනෑම පුද්ගලයෙකු සඳහා ආරක්ෂිත, රහසිගත සහ විනිශ්චයෙන් තොර පරිසරයක් සපයයි.

පසුගිය වසර 13 පුරා 1333 “Bikeathon” පාපැදි සවාරි ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සමාජ සුභසාධන වැඩසටහන් අතරට එක්වී තිබේ. මානසික සෞඛ්‍යය වෙනුවෙන් පාපැදි ධාවකයින්, ආයතනික හවුල්කරුවන්, ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රජාවන් එකම අරමුණක් වෙනුවෙන් එක් කිරීමට වර්තමානයේ එය සමත්ව ඇත.

ධාවනය කරන සෑම කිලෝමීටරයකම බලාපොරොත්තුවේ පණිවිඩයක් රැගෙන අතර පරිත්‍යාග කරන සෑම මුදලක්ම අත්‍යවශ්‍ය අර්බුධ නිරාකරණ සහාය පවත්වා ගෙන යාමට දායක වේ. එසේම සහභාගී වන සෑම පුද්ගලයෙකුම මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩි දැනුවත් භාවයක් සහ විවෘත භාවයක් ඇති කිරීමට දායක වේ.

1333 “Bikeathon” 2026 පාපැදි සවාරිය සඳහා පාපැදි ධාවකයින් ලෙස ලියාපදිංචි වීමෙන්, සහභාගීවන්නන් සඳහා අනුග්‍රහය දැක්වීමෙන්, පරිත්‍යාග කිරීමෙන් හෝ වැඩසටහන සමඟ හවුල් වීමෙන් මෙම වැඩසටහනේ කොටස්කරුවන් වන ලෙස CCC පදනම පුද්ගලයින්, ව්‍යාපාරික ආයතන, පාපැදි සංගම් සහ ප්‍රජාවන් වෙත ආරාධනා කරයි.

පාපැදි ධාවනය කිරීමෙන්, සහාය ලබාදීමෙන් හෝ මෙම පණිවිඩය බෙදා හැරීමෙන්, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින අපකීර්තිය අවම කිරීමටත්, කිසිදු පුද්ගලයෙකුට චිත්තවේගීය අර්බුධයකට තනිව මුහුණ දීමට සිදු නොවන බව සහතික කිරීමටත් සෑම දෙනාටම දායක විය හැකිය.

CCC පදනම (ධෛර්යය, අනුකම්පාව, කැපවීම) යනු මානසික සෞඛ්‍යය සහ චිත්ත වේගීය යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින ශ්‍රී ලාංකික පුණ්‍ය ආයතනයකි. 1333 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව හරහා දිනකට පැය 24 සහ සතියේ දින හත පුරා නොමිලේ සහ රහසිගත චිත්තවේගීය සහාය ලබා දෙමින්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක සෑම පුද්ගලයෙකුට කරුණාවන්ත සහ සංවේදී හඬකට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙයි.

0 Comments
Most Voted
Newest Oldest