Top Story

ලිට්‍රෝ ගෑස් මිල දැනෙන්න ඉහළ⁣ට.. නව මිල මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල දැනෙන්න ඉහළ⁣ට.. නව මිල මෙන්න

අද (05) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ නංවන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 4765කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1910කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 890කි.

හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු

හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු

අදට (05) දිනට යෙදී ඇති පාස්කු ඉරුදිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක නිකුත් කළ පණිවිඩය පහතින්.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කිතුනු බැතිමත්හු ඉමහත් භක්තියන් යුතුව පාස්කු ඉරිදා දිනය සමරති. එය බලාපොරොත්තුවේ, අලුත් වීමේ සහ දයාවේ සදාතනික බලය සිහිපත් කරන්නකි.

ආගමික උත්සවයක් සේම පාස්කු උත්සවය යනු මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ දරා ගැනීමේ හැකියාව පිළිබඳ යළි මෙනෙහි කරවන කිතුනුවන්ගේ සංස්කෘතික මංගල්‍යයකි. මරණය පරදා උත්ථානය ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් තිබේ නම් අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බව ජීවනාදර්ශයෙන් ලොවට පෙන්වා දුන්හ. තමන් වෙනුවෙන් ජිවිතය පූජා කළ යේසුස් වහන්සේ උදෙසා එක්සත්ව නැගී සිටි ජනතාව ලෝකයට එක්සත්භාවයේ යහ-පණිවිඩය ලබා දුන්හ.

මේ මොහොතේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවද අපට අමතක කළ නොහැකිය. එදිරිවාදය පෙරදැරිව ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරති. මේ උතුම් පාස්කු උදාවේදී සාමය කරා යන ගමන්මඟ හෙළිපෙහෙළි වේවා’යි ප්‍රාර්ථනා කරමි.

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණ දියෙන් පුරවාලමින් එක මවකගේ දරුවන් මෙන් භේද දුරලා හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු. ඒ සඳහා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමු!

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි කිතුනු බැතිමතුන්ට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

ඔබ සැමට දයාවේ සහ සාමයේ පැතුම් ඉටු වන සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

අධික උණුසුම භායනකයි.. මොලේට බලපෑම්.. පරිස්සම් වෙන්න

අධික උණුසුම භායනකයි.. මොලේට බලපෑම්.. පරිස්සම් වෙන්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මානසික අවපීඩනයන් ආතතිය, හිතට කරදරය සහ නොසන්සුන් තත්ත්වයන් ඇතිකිරීමට හේතුවන බව මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර සඳහන් කළාය.

මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර සඳහන් කළේ,

“අධික උණුසුම් තත්ත්වය මානසික අවපීඩනයන්, ආතති තත්ත්වයන්, හිතට කරදරය නොසන්සුන්කම වැඩි කරන තත්ත්වයන් වෙනවා. අධික උණුසුමත් එක්ක ආතතිය, ඇන්සයිටිතමතාවය, විෂාදය එකට බැදිලා තියෙන නිසා මෙම තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්.  

අධික උණුසුමත් එක්ක ඇග විජලනයට පත්වෙනවා. ඒක නිසා ඇති වන රාසායනික තත්ත්වයන්ගේ වෙනස්වීම නිසා කෙනෙක්ගේ මානසක මට්ටම පහතට වැටෙන්න පුළුවන්. මොලේ තියෙන රාසායනික ද්‍රව්‍ය, හෝමෝන මේ සියලු දේවල බලපෑම නිසා මානසික තත්ත්වය අඩු වෙන්න පුළුවන්.

රස්නය වැඩි වුණාම නින්දට බලපෑම් වෙනවා. මේකත් මානසික මට්ටම අවපීඩනයට ලක් කරන්න හේතු වෙනවා. අධික උණුසුමත් එක්ක කෙනෙකු ආතති තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. 

අධි අවධානම් පිරිසක් ඉන්නවා. කාලයක් පුරා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිස්, කුඩා දරුවන්, ගර්භණි මව්වරු සහ වයෝවෘධ පිරිස. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කෙළින්ම බලපෑමක් ඇති කරනවා.

මානසික තත්ත්වය කඩා වැටෙන්න අධික උණූසුම් තත්ත්වයත් සමග නුසුදු දියරයක් බැවින් මත්පැන් පානය කිරීම මානසික තත්ත්වය අවපීඩනය වීම ආතති තත්ත්වයන් ඇති වීම වෙන්න පුළුවන්. අධික උණුසුම කල්පනාව අඩුවීම මතකය අඩුවීම වැනි තත්ත්වයන්ට ඇතිවෙන්න පුළුවන්. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව www.doenets.lk  හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527ක් සුදුසුකම් ලබා ඇත.

පාසල් අයදුම්කරුවන් 146,405ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 30,122ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

විදුලි බිල ඉහළ⁣ට

විදුලි බිල ඉහළ⁣ට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇති අතර විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස (01) වන දින සිට ක්‍රියාත්මක වේ. 

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණේය.

ඒ අනුව ඒකක (0 – 30) දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 04.3%කින් ඉහළ යන අතර මාසිකව රුපියල් 15කින් ඉහළ යයි.

ඒකක (31 – 60) අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ යයි.

ඒකක (61 – 91) අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 120කින් ඉහළ යයි.

ඒකක (91 – 120) දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 7.1%කින් ඉහළ දමා ඇති අතර එහි මාසික ගාස්තුව 420කින් ඉහළ යයි.

ඒකක 180ට වැඩිවීම සඳහා විදුලි ගාස්තු 25%කින් ඉහළ දමා ඇති අතර රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තුව 14.1%කින් ඉහළ දැමීමට කොමිසම තීරණය කර ඇත.

මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇත.

එම අංශයේම ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහාද අනුමැතිය ලබාදීමට කොමිසම තීරණය කර ඇත.

මේ අතර පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 8%කින් ඉහළ දමා ඇති අතර කර්මාන්ත අංශය සඳහා විදුලි ගාස්තුව 8.7ක් දක්වා පමණක් සීමා කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

හදිසි තත්ත්වය දිර්ඝ කරයි.. අති විශේෂ ගැසට් නිවේදනයක්

හදිසි තත්ත්වය දිර්ඝ කරයි.. අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක විසින් මේ වනවිට නිකුත් කර ඇත.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපාකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයද යළි දීර්ඝ කිරීමටද පියවර ගෙන ඇත.

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම්, සෞඛ්‍ය සේවාවට අදාළ සියලු සේවාවන්, පොදු ගමනාගමන සේවා ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබූ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර ඇත.

අප්‍රේල් ඉන්ධන මිල ගැන ජනතාවට දැනුම්දීමක්

අප්‍රේල් ඉන්ධන මිල ගැන ජනතාවට දැනුම්දීමක්

ඉන්ධන මිල සම්බන්ධයෙන් මාසිකව සිදු කරන‍ මිල සංශෝධනය අනුව අප්‍රේල් මස සඳහා ඉන්ධන මිල ගණන් ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව මාසිකව සිදු කරන‍ මිල සංශෝධනයට අදාළව මාර්තු මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින් මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය රජය විසින් ගනු ඇති බවද සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.

කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මේ බව සඳහන් කරයි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

වහාම මිලියන 75ක් රජයට ගෙවන්නැයි කෙහෙළියට නියෝග

වහාම මිලියන 75ක් රජයට ගෙවන්නැයි කෙහෙළියට නියෝග

පසුගිය 2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Transpirancy International Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන්ට සූරසේන ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බව එම නඩු තීන්දුවේ සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් රුපියල් මිලියන 50ක මුදලක්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න විසින් රුපියල් මිලියන 50ක මුදලක් රජයට ගෙවිය යුතු බවද එම නියෝගයේ සඳහන් වේ.

තවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන විසින් තවත් මිලියන 50ක් වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවද එම තීන්දුවේ සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ විශේෂ කාමරය අද සිට රටේ ජනතාව⁣ට

ජනාධිපතිවරයාගේ විශේෂ කාමරය අද සිට රටේ ජනතාව⁣ට

මෙරට විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් මෙතෙක් කල් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය අද (24) දිනයේ සිට රටේ පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා දෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන ඇත.

1984 වසරේදී ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස ඉදිකළ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ධාරිතාවයකින් වන අතර එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන මෙම විශේෂ කාමරය අතිරේකව එක් කර ඇත.

රෝහල ආරම්භ කළදා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද, ජනාධිපතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන්, රෝගින්ගේ භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇත.

ඒ අනුව අද දින සිට මෙම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට නියමිතය.