Top Story

රජයේ වන්දි යටතේ ඉදිකළ නව නිවසක සිට ජනපති අලුත් අවුරුදු සමරයි

රජයේ වන්දි යටතේ ඉදිකළ නව නිවසක සිට ජනපති අලුත් අවුරුදු සමරයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්නගේ නව නිවසට ගෙවැදීමේ සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (14) පෙරවරුවේ එක් විය.

පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස පහක කාලයක් තුළ මෙම නිවස ඉදිව තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි වන නව නිවාස හයෙන් එකකි.

එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස හැට හයකටද මේ වන විට වන්දි ගෙවා අවසන් කර තිබේ.

ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව නව නිවසේ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වූ ජනාධිපතිවරයා එම සියලු ජනතාවට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා වෙතද අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය.

සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගමු.. ජනපති අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරයි

සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගමු.. ජනපති අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරයි

භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි.

පාරම්පරික සම්ප්‍රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් සාමුහිකව, එකම නැකතකට කටයුතු කිරීම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී සිදු කෙරේ. මෙම සංස්කෘතික බෙදාහදාගැනීම ලෝකය අභිමුවේ අප රටෙහි අනන්‍යතාව මෙන්ම අපගේ ප්‍රජාවන් අතර පවතින සමාජ-සංස්කෘතික බැඳීම මනාව නිරූපණය කරන්නකි.

රටේ අනාගත සංවර්ධන මාවත තෝරාගත හැක්කේ මෙම අගනා සංස්කෘතියත්, විශිෂ්ට ඓතිහාසික උරුමයත් සමඟින් බව අප තරයේ විශ්වාස කරමු. ඒ අනුව අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ එම වටිනා උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව මෙහිලා සිහිපත් කළ යුතුය.

එමෙන්ම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර-වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාවෙන් පිළිබිඹු කෙරෙන්නේ සාමුහිකත්වය අගයන අනෙකාගේ මෙන්ම සොබාදහමේ පැවැත්මට ගරු කරන සහකම්පනීය අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමයි. අලුත් අවුරුද්දේ චාරිත්‍ර-වාරිත්‍රවලින් ප්‍රකට වන එම සාමුහිකත්වයේ ගුණාංග සහ හරයන් එම දින කිහිපයේ පමණක් නොව මුළු වසර පුරාම අපගේ චර්යාවෙන් නිරූපණය විය යුතු යැයි මම සිතමි.

පසුගිය වසරේ මුහුණ පෑ මෑතකාලීන විශාලතම ස්වභාවික ව්‍යසන අභියෝගය හමුවේ අප ලොවට පෙන් වූ අභ්‍යන්තර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම මැදපෙරදිග යුද්දයෙන් එල්ලව ඇති බාහිර අභියෝග හමුවේත් සැලසුම් සහගතව, මනා වූ කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් එම අභියෝග ජයග්‍රහණය කිරීමට ඇවැසි වැඩපිළිවෙළද රජය විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

රටක් ලෙස එක්ව මෙම අභියෝග ජයග්‍රහණය කිරීමේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ප්‍රකට කෙරෙන සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට කැප වෙමු’යි මම සියලු දෙනාගෙන් ඉල්ලමි.

දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු’යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා’යි හෘදයාංගම සුබපැතුම් එක් කරමි.

අද සිට QR ක්‍රමවේදය ඉවතට

අද සිට QR ක්‍රමවේදය ඉවතට

අද (11) දින මධ්‍යම රාත්‍රියේ සිට එළැඹෙන (18) වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන ‘QR’ ක්‍රමවේදය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පියවර ගත් බව අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඔත්තේ ඉරට්ටේ සැලකිල්ලට ගන්නා බවද එහි සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කරයි.

කරදියාන කුණු කන්දේ හදිසි ගින්න.. වහාම මුඛ ආවරණ පළදින්න

කරදියාන කුණු කන්දේ හදිසි ගින්න.. වහාම මුඛ ආවරණ පළදින්න

අද (10) පස්වරුවේ පිළියන්දල පොලිස් වසමේ කරදියාන කසළ අංගණයේ හටගත් හදිසි ගිනි ගැනීම හේතුවෙන් ප්‍රදේශය පුරා අධික දුමාරයක් පැතිර යමින් පවතින බව පොලිසීය සඳහන් කරයි.

එම දුමාරය විෂ සහිත වීමට ඉඩ ඇති බැවින් එම කසළ අංගණයට ආසන්න අතුරු මාර්ග භාවිත කරන මහජනතාව එම ප්‍රදේශය මගහැර ගමන් කිරීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය සඳහන් කරයි.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවීමේ ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ පිළියන්දල පොලිසිය එක්ව කටයුතු කරමින් සිටී.

එම ප්‍රදේශය ආශ්‍රිතව වාසය කරන මහජනතාව එම දුම ආග්‍රාහණය වීමෙන් සිදුවන සංකූලතා වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙයි.

විපක්ෂය හාන්සියි.. විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජයට

විපක්ෂය හාන්සියි.. විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජයට

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

එහිදී අදාළ විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමිවූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49ක් පමණි.

ඒ අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

ජනතාවට රජයෙන් ලැබෙන සම්පූර්ණ සහන පැකේජය මෙන්න

ජනතාවට රජයෙන් ලැබෙන සම්පූර්ණ සහන පැකේජය මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) දින පාර්ලිමේන්තුවේදී රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කළේය.

ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර රජයක් ලෙස ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

අස්වැසුම සහනාධාරය =

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබාදීම.

රුපියල් 7,500ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබාදීම.
රුපියල් 5,000ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබාදීම.
රුපියල් 2,500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබාදීම.

විදුලි සහනාධාරය =

ඒකක 90ට අඩු අයට සහන දීම සඳහා රුපියල් බිලියන 15ක් වෙන්කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබාදීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීම.

පොහොර සහනාධාරය =

හෙක්ටයාරයකට රුපියල් 25,000ක් ලෙස ලබාදෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 30,000ක් දක්වා ඉහළ නංවීමට කටයුතු කර ඇත.

අතිරේක භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 18,000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

ගොවීන්ට, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යල කන්නය සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබාදෙනු ලබනවා.

ධීවර සහනාධාරය =

එක් දින ධීවර යාත්‍රාවක් සඳහා දිනකට ලීටර 25 බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රුපියල් 50 බැගින් වූ සහනාධාරයක් මාස 03ක් සඳහා ලබාදීම.

ඉදිරි මාස 03 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රුපියල් 150,000ක් එකවර ගෙවනු ලබන දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇත.

තේ වතු හිමියන්ට සහන =

කුඩා තේ වතු හිමියන් දිරිමත් කිරීම සඳහා දැනට ලබාදෙන රුපියල් 4,000ක දීමනාවට අමතරව, එක් වරකට පමණක් පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

මෙම සමස්ත සහන පැකේජය වෙනුවෙන් රජය රුපියල් මිලියන 6,500ක අතිරේක මුදලක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට

සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට

රජය විසින් හඳුන්වාදී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව ජනපතිට

ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙනු ලැබිණ.

මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15වන ජන හා නිවාස සංගණනය වන අතර, ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමක් සඳහා සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ්ලට් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කිරීම මෙහි විශේෂත්වයකි.

ඒ අනුව, මෙහිදී ටැබ් පරිගණක යන්ත්‍ර 15,000ක් සහ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කර දත්ත රැස්කිරීම සිදු කෙරිණි. එමගින් දත්ත රැස් කිරීම වේගවත් කිරීමටත්, දෝෂ අඩු කිරීමත්, ලබාගත් දත්ත ඍජුව දෙපාර්තමේන්තුවේ සර්වර් පරිගණක වෙත ලබා ගැනීමටත්, අනතුරුව, දත්ත විශ්ලේෂණය සහ වාර්තා සකස් කිරීම කාර්යක්ෂමව සිදු කිරීමටත් හැකි විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් මගින් සිදු කරන ලද විශාලතම සහ සංකීර්ණතම දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය වන මෙම ජාතික සංගණනය, සංගණන ආඥාපනත යටතේ සිදු කර ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මඟපෙන්වීමෙන් දිස්ත්‍රික් පරිපාලනයේ මෙහෙයවීම යටතේ, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, වෙනත් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නන් ඇතුළු සංගණනයේ තොරතුරු රැස්කිරීම සඳහා විශේෂයෙන් පුහුණුව ලබා දුන් පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් මෙම ජාතික කාර්යය සඳහා සහභාගී වූහ.

මෙම සංගණනයේ ‘සංගණන මොහොත’ ලෙස 2024 දෙසැම්බර් මස (19) වන දිනයේ ආරම්භ වන අවස්ථාව (එනම් පැය 00:00) සලකන ලදී.

ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය සහ පුද්ගලයින් පදිංචි නිවාස ඒකක පිළිබඳව මෙම සංගණන වාර්තාවේ සඳහන් වේ.

තවද මෙම වාර්තාව රටේ ජනගහන ව්‍යුහය, නිවාස තත්ත්වය, සමාජ-ආර්ථික ලක්ෂණ සහ ප්‍රාදේශීය විෂමතා පිළිබඳව විස්තරාත්මක දත්ත සපයන මූලික ජාතික ලේඛනය ලෙස සැලකෙන අතර, සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම සෙසු ආයතන සඳහාද ඉතා වැදගත් වේ.

මෙහිදී අදහස් දක්වමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එම්. ඩී. එස්.ඩී. කරුණාරත්න පැවසුවේ, ඩිජිටල් ක්‍රමවේද භාවිත කිරීම හේතුවෙන් පෙර සිදු කළ සංගණනවලට වඩා විශාල පරාසයක තොරතුරු රැස් කිරීමට හැකි වූ බවයි.

එමඟින් වඩාත් පුළුල් විශ්ලේෂණයක් සහිත වාර්තාවක් සකස් කිරීමට හැකි වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

වහාම ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කරයි

මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

ඒ අනුව අනිද්දා එනම් (08) වෙනි බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවත් ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

අලුත් අවුරුද්දට QR

අලුත් අවුරුද්දට QR

සමාජයේ පවතින ඇතැම් සංකීර්ණ ගැටලු විසඳාගැනීමට නම් ඩිජිටල් ගනුදෙනු සඳහා රටක් ලෙස අප ප්‍රවිෂ්ට විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අලුත් අවුරුද්දට කරන ගනුදෙනු QR හරහා සිදුකරන්න පුළුවන් නම් එය ඉතාමත් හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත්වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

“ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“QR කිව්වොත් ඔළුවට එන්නේ කුමක් ද.? ඉන්ධන සීමා කිරීම සඳහා තිබෙන මෙවලමක්. QR යටතේ පොහොර දෙන්න යනවා කිව්වා. එතකොට මතයක් හැදුවා පොහොරත් කපන්න තමා යන්නේ කියලා. QR අන්තිමට සීමා කිරීමකට ලඝු වෙලා.

ගනුදෙනු වලටත් ආවොත් මේ කරන්න යන්නේ සීමා කිරීමක්ද, මේ කරන්න හදන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අධ්‍යාපන වැඩසටහනකුත් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා.

මේ ආරම්භ කරන ලද පියවර අපේ රටේ QR කේතයන් හරහා සිදුවන සියලුම ගනුදෙනු ඉතාම වේගයෙන් ප්‍රචලිත කළ හැකියි. බැංකු සහ මූල්‍ය ආයතනවලට මේ පිළිබඳ විශාල වගකීමක් තියෙනවා. ගොඩක් මුල්‍ය සමාගම් දැන් අලුත් අවුරුද්දට ප්‍රචාරක දැන්වීම් හදනවා.

මම හිතනවා අපිට පුළුවන් නම් මේක නිමිත්තක් බවට පත්කරගෙන අලුත් අවුරුද්දට කරන ගනුදෙනු QR කේතයන් හරහා සිදුකරන ගනුදෙනු බවට පත්කරගන්න පුළුවන් නම් එය ඉතාමත් හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත්වේවි. එතකොට මිනිස්සු වැලඳගන්නවා. අපේ සමාජය අලුත් දේ වැලඳ ගන්න ලෑස්තියි.”