Top Story

ජනපති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවෙයි.!

ජනපති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) කොළඹ NCC ක්‍රීඩාංගණයේදී 2026 අයි.සී.සී. පිරිමි T-20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හමුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පුහුණු සැසිය නිම කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි පැමිණි අතර, තරගාවලියට පෙර ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම සහ දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අඛණ්ඩ පරාජයන් සහ ඒ හමුවේ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ මෙවර T-20 ලෝක කුසලානයට ක්‍රීඩකයින් මුහුණදෙන පසුබිමක, ක්‍රීඩකයින් පුද්ගලිකව හමුවී ඔවුන්ට අවශ්‍ය සහයෝගය සහ දිරිගැන්වීම ලබා දීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළඹෙන පෙබරවාරි 08 වනදා පැවැත්වීමට නියමිතයි.

මත්තල රාජපක්ෂ අලුත් වාර්තවක් තබයි.!

මත්තල රාජපක්ෂ අලුත් වාර්තවක් තබයි.!

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2013 වසරේ ආරම්භයෙන් අනතුරුව වාර්තා වූ ඉහළම ගුවන් මගී සංචලන සංඛ්‍යාව 2025 වසර තුළ වාර්තා කිරීමට සමත් වී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.

ඒ අනුව 2025 වසර තුළ ගුවන් මගීන් 140,614 දෙනෙකු මෙහෙයවීමට හැකි වී ඇති බවත් 2025 වසර තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්යානා 703ක් සාර්ථකව මෙහෙයවීමටද හැකි වී ඇති බවත් එම සමාගම සඳහන් කරයි.

එමෙන්ම පසුගිය වසර තුන පුරා මත්තල ගුවන්තොටුපොළ ගුවන් මගී හැසිරවීමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වෙයි.

නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව මත්තල ගුවන්තොටුපොළ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන හේතුවක් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පෙන්වා දෙයි.

අතීතයේදී මත්තල ගුවන් තොටුපොළ ආශ්‍රිත වනජීවී ගැටලු හේතුවෙන් ආරක්ෂක කරුණු මත ගුවන් සමාගම් මෙහි ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වා තිබුණි. 

එම ගැටලු විසඳීමට නව රජය ගත් සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 2025 වසරේදී ගුවන්යානා පැමිණීමේ ද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිළිබඳ විශ්වාසය පළ කරමින් 2025 වසර තුළ යුරෝපය, මැදපෙරදිග සහ දකුණු ආසියාව සම්බන්ධ කරමින් ගුවන්සමාගම් කිහිපයක් මෙහි ගුවන් වාර ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව රුසියාවේ Red Wings, බහරේන් හා පාකිස්තානයේ සිට SkyUp, ඩුබායි සිට Fly One, උස්බෙකිස්තානයේ සිට Centrum Air සහ Uzbekistan Airways, බල්ගේරියාවේ සිට Bulgaria Air යන ගුවන් සමාගම් මත්තල දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම බෙලරූස්හි මින්ස්ක් නගරයෙන් Belavia ගුවන් සේවය 2025 වසරේදී ප්‍රථමවරට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමද විශේෂත්වයකි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දේශීය සංචාරක ගමනාන්ත රැසකට පහසුවෙන් ළඟා විය හැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහාද එය වැදගත් භූමිකාවක් ඉටු කරයි.

එසේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින අධික තදබදයට විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපොළ උපායමාර්ගික වශයෙන්ද විශේෂ වැදගත්කමක් දරයි.

මහජන මුදල් බිලියන ගණනක් වැය කර ඉදිකර අභාවයට යාමට ඉඩ හැර තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2025 වසරේදී වාර්තාගත ගුවන් මගී පැමිණීමක් වාර්තා කිරීම, ගුවන්තොටුපොළ පිළිබඳ නව බලාපොරොත්තු නංවන වැදගත් සන්ධිස්ථානයක් බවද වාර්තා වේ.

සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද සිට.!

සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද සිට.!

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවා හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ.

ඒ අනුව අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ ඒම සර්වඥධාතුන් වහන්සේ ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනය කරනු ලබන පළමු අවස්ථාව මෙය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් සිදුකළ විශේෂ ඉල්ලීමක් මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදුව තිබේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ”සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) දිනයේ සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීම සිදු කළේය.

මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරන සැදැහැවතුන් සදහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට අද සිට විශේෂ දුම්රිය ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ අනුව ලබන 10 වන දින දක්වා මෙම දුම්රිය ධාවනය කෙරෙන අතර අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය. 

ජනපති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට එක්වෙයි.!

ජනපති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට එක්වෙයි.!

‍කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) එක්විය.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් අද (04) දින මෙරටට වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, ඉන්දියාවට අයත් විශේෂිත ගුවන් යානයකින් මෙරටට වැඩම කරවීම සිදු කෙරුණි.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමත් සමඟ මෙරට ජනතාවට මෙම ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදා වේ.

සර්වඥ ධාතු වන්දනාව හෙට (05) සිට පෙබරවාරි (11) වනදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

ප්‍රභාකරන්ගේ වැල්වෙටිතුරෙයි නිවස නංගීට.!

ප්‍රභාකරන්ගේ වැල්වෙටිතුරෙයි නිවස නංගීට.!

ඝාතනයට ලක්වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ යාපනයේ වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවස පූර්ණ අලුත්වැඩියාවකට ලක් කොට ඔහුගේ නැගණිය වෙත භාර දිය යුතු බවට වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් පසුගිය 2 දා ඒකමතිකව සම්මත වී තිබේ.

වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කර තිබේ. ඔහු ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනකු වන අතර සෑම වසරකදීම ඔහු ප්‍රභාකරන්ගේ උපන් දිනයදා එම නිවස ඉදිරිපිට කේක් කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරනු ලබයි.

ලෝකයේ බොහෝ නායකයින්ගේ නිවාස මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කොට ඉදිරි පරපුරට දැක බලා ගැනීමට සංරක්ෂණය කරන නිසා සියලුදෙනා ප්‍රභාකරන්ගේ නිවස යැයි කියන එම නිවසද සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තැබිය යුතු බව ශිවාජිලිංගම් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් පවසා ඇත.

ඒ අනුව ආරක්ෂාව හා පැවැත්ම උදෙසා එම නිවස ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ප්‍රභාකරන්ගේ නැගණිය වෙත භාර දීම ඉතා උචිත බව ප්‍රකාශ කොට එම්.කේ. ශිවාජිලිංගම් ඉදිරිපත් කළ එම යෝජනාවට සභාවේ ඒකමතික කැමැත්ත පළ වී තිබේ.

සයිෆ් ගඩාෆි වෙඩි තබා ඝාතනය කරයි.!

සයිෆ් ගඩාෆි වෙඩි තබා ඝාතනය කරයි.!

53 වන වියේ පසුවූ හිටපු ලිබියානු පාලක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයෙකු වන සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (03) දිනයේ මෙම ඝාතනය සිදුව ඇති බව ඔහුගේ දේශපාලන කණ්ඩායමේ ප්‍රධානියා මෙම මරණය තහවුරු කර ඇති බව ලිබියානු පුවත් ඒජන්සිය පවසයි.

ඔහුගේ සොහොයුරිය ලිබියානු රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කර ඇත්තේ, ඔහු ඇල්ජීරියානු දේශසීමාව අසලදී මියගිය බවයි.

ඔහු වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවට මළ සිරුර පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තහවුරු කර ඇති අතර, එරට නීතිපති කාර්යාලය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මුවම්මර් ගඩාෆිගේ උරුමක්කාරයා ලෙස කලක් සැලකුණු සයිෆ් අල්-ඉස්ලාම්, 2011 වසරේදී ඔහුගේ පියාගේ පාලනය බිඳ වැටීමට පෙර එරට වඩාත්ම බලගතු පුද්ගලයෙක්.

බටහිර රටවල් සමග සබඳතා ගොඩනගා ගැනීමට ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ නමුත්, 2011 කැරැල්ලේදී විරෝධතාකරුවන් මර්දනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහුට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර, 2015 දී ට්‍රිපොලි අධිකරණයක් විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබුණි

වසර කිහිපයක් සිරගතව සිටි ඔහු 2017 දී පොදු සමාවක් යටතේ නිදහස ලැබු අතර පසුගිය 2021 වසරේදී ඔහු ලිබියාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කළ ද, පසුව එම මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීය.

ඇමෙරිකානු යුද නෞකාවක් අසලට ආ ඉරාන ඩ්‍රෝන යානයකට පහර දෙයි.!

ඇමෙරිකානු යුද නෞකාවක් අසලට ආ ඉරාන ඩ්‍රෝන යානයකට පහර දෙයි.!

ඇමෙරිකන් හමුදාව පවසන්නේ මේ වනවිට අරාබි මුහුදේ නැංගුරම් ලා සිටින ඇමෙරිකන් යුද නෞකාවක් සමීපයට පියාසර කරමින් තිබූ ඉරානයට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී විනාශ කළ බවයි.

ඇමෙරිකාවත් ඉරානයත් අතර මත ගැටුම් අවසන් කිරීමට සාකච්ඡා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වෙමින් සිටින අතරතුර ඇමෙරිකන් හමුදාව, මෙම ඉරාන ඩ්‍රෝන යානයට පහරදීම සුවිශේෂී සිදුවීමක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇති අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත්තේ, මතභේදයට ලක්වුණු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තම නියෝජිතයන් ඇමෙරිකන් නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වනු ඇති බවය.

“රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට ඉඩ දෙන්නේ නෑ” ජනපති අනුර ජාතිය අමතයි.!

“රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට ඉඩ දෙන්නේ නෑ” ජනපති අනුර ජාතිය අමතයි.!

සියවස් ගණනාවක් පුරා යටත් විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මුත්තන් තමන්ගේ ලේ, කඳුළු, දාහඩිය මාතෘභූමියට පුජා කළ අතර එය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අද (04) උදෑසන 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අද අපි සමරනු ලබන්නේ 78 වන නිදහස් සමරුවයි. අවුරුදු 133ක ඉතාමත් කුරිරු පීඩාකාරී, කොල්ලකාරී යටත් විජිත පාලනයෙන් 1948 අපේ නිදහස ලැබු වසරයි. ඒ වගේම සියවස් ගණන් පුරා යටත් විජිත වාදයට එරෙහිව අපේ මුතුන් මිත්තන් තමන්ගේ ලේ, කදුළු, දහඩිය මේ මාතෘ භූමිය වෙනුවෙන් පූජා කරනු ලැබූවා.”

“අපි ජීවිතේ විවිධ අවදීන්ට මුහුණදෙනවා බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරනවා. අරගලවල නිරත වෙනවා. එය සාමාන්‍ය දෙයක්. එහෙත් යම් කිසිවෙක් මාතෘභූමිය වෙනුවෙන් ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම් ඔවුන් සැබවින්ම විරෝධාර විරුවන් බවට පත්වෙන එක වළක්වන්න බෑ.”

“අපි අද දෙපය තබාගෙන සිටින මේ මහපොළොව අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු, අපේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සටන් වැදුණු මුතුන් මිත්තන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් මේ මහ පොළොව තෙත් වෙලා. ඔවුන්ගේ ලේ, කඳුළුවලින් මේ මහ පොළොව තෙත් වෙලා. ඒ නිසා ඔවුන් අපේ හදවත් තුළ වීරත්වයේ ඉහළම අසුනක අසුන්ගෙන සිටිනවා. ඒ නිසා අපේ මව්බිමේ නිදහස හා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ සියලු වීරෝධාර වීරවරියන් වීරවරුන් වෙනුවෙන් අපේ උත්තමාචාරය හා ගෞරව පුද කළ යුතුයි.”

“අපිට නිදහසේ පරිපූරණත්වය සඳහා වූ සටනක් හා අරගලයක් තියෙනවා. ඒ අරගලය ඇත්තේ අප, ඔබ, මා තුළම බවට මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවර නිදහස් දිනයේ ප්‍රධාන තේමාව වුයේ ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, අපේ ස්වෛරීයභාවය මත යළි ගොඩනැඟිය යුතුයි. ඒ යළි ගොඩනැඟීමේ දී අපේ සාරය බවට පත්වන්නේ, අප ඉතාමත පෞඩ ඉතිහාසයකට උරුමකන් කියනවා.

අපේ මුතුන්මිත්තන් ඒ යුගයට ගැලපෙන අයුරින් ඉතාම ඉහළ තාක්ෂණික දැනුමින් හෙබි බව ඉතිහාස ගත කරුණු අපට පෙන්නුම් කරලා තියෙනවා. අපිට ශ්‍රේෂ්ඨ පෞඩත්වයක්, ඉතිහාසයකට උරුමකන් කියන ජාතියක්. ඒ වගේම මෑත ඉතිහාසයේ මේ සියල්ලන්ගෙන්ම බැහැර කළ යුතු කරුණු බොහෝමයක් තියෙන අතර, අපි අත්පත් කරගත යුතු සාධනීය ලක්ෂණ රැසක් තියෙනවා.

අප ශ්‍රී ලංකාව ගොඩනැඟිය යුතු මාවත වන්නේ, අපේ මාතෘභූමිය සමඟ තිබෙන අයින්ද්‍රීය සබඳතාවයන් අපේ ජාතිය ගොඩනැඟීමේ දී ඉතිහාසය විසින් එක්කර තිබෙන මහාසාරය මේ මහ පොළොව මත යළි ප්‍රතිෂ්ඨාපනය කරන මාවත තමා අපේ ආර්ථිකය ගොඩනඟන මාවත ලෙස තෝරාගන්නේ. එය හුදු මාතෘභූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවේ. අපේ මාතෘභූමියේ, ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟෙන මාවතට අපි අවතීර්ණය විය යුතුයි.”

“නිදහසෙන් පසු 78 වසර තුළ ජය පරාජයන් තියෙනවා. හොඳ තියෙනවා නරක තියෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිලෙන්නේ නෑ. ඒ වගේම හොඳ දේ උකහා ගන්න බිය වන්නේ නෑ. ඒ නිසා අතීතයේ සාරවත් දෙය මත මේ රාජ්‍ය, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වගකීම අප, ඔබ,මා සතු බව විශ්වාස කරනවා.”

“අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමඟ උරින්උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය. බෙඳීම වෙනුවට සමගිය පෙරදැරි කරගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. එහිදී කලාව, සාහිත්‍ය, ඉතිහාසය මෙන්ම නව තාක්ෂණය, අධ්‍යාපනය මේ මානව සම්පත දියුණු කිරීමේ දී වැදගත්.

අපේ රටේ දියුණු මානව සම්පතක් ගොඩනැඟීමට දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සුදානම්. පැරණි අගතීන් මොනතරම් ප්‍රමාණයට එම නව මිනිසා ගොඩනැගීමට දරන ප්‍රයන්තනයට බාධා කරන්නේ නම් ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරය ඉටුකිරීමට අපි සුදානම්. එයට මේ රටේ පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා.”

“මානව ශක්තිය ප්‍රධාන ශක්තියක් වන බව ඇත්ත. ඒ ශක්තිය රඳා පවතින්නේ අපේ සමගිය මත පමණයි. අපි බිඳුනොත් අපේ ශක්තිය දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය නිර්මාණය වුවහොත් අපේ ප්‍රධානතම ශක්තිය දුබල වෙනවා.”

“අපේ ශබ්ද කෝෂයේ ඇති අවලස්සනම වචන දෙක ජාතිවාදය හා අන්තවාදයයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ දෙකෙන් සිදුවිය හැක්කේ අපි සතු ශක්තිය ස්වයං ලෙසම විනාශ කර ගැනීම හා දුබල කරගැනීමයි. අපි අපේ රටේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩනොදෙන බවත්, ජාතික සමගිය අපේ රටේ ගොඩනඟනවා.”

“ශ්‍රී ලංකාව ගොඩනැංවීමේ දී ගොඩනඟමු ශ්‍රී ලංකා කියන තේමාවට පණ ලැබෙන්නේ නීතියේ ආධිපත්‍ය නිසිලෙස තහවුරු කිරීමෙනි.”

“අපේ රට යළි ජාත්‍යන්තරය තුළ ශ්‍රේෂ්ඨ ජාතියකින් හෙබි ගෞරවනීය රාජ්‍යයක් බවට පත්කිරීම ඉතාම වැදගත් සාධකයක්. මේ කුලුනු මත අපේ රාජ්‍ය ගොඩනැඟිය හැකියි. නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතා නොමැති තැනක, පරිසර පද්ධති විනාශ වූ තැනක, සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බීජය ගොඩනඟමු යන තේමාව යථාර්ථයක් කළ නොහැකිය. ඒ නිසා අපේ අධිෂ්ඨානය විය යුත්තේ අපේ රට ගොඩනැගීමට අවශ්‍ය පදනම නිර්මාණය කිරීම. ඒ කුලුනු මත අපි ශක්තිමත් නොසැල්වෙන ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි.”

ජනපති අනුරගේ නිදහස් දින පණිවිඩය.!

ජනපති අනුරගේ නිදහස් දින පණිවිඩය.!

78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය.

ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට අපි සමත් වීමු.

අප ලද සාර්ව ආර්ථික ප්‍රතිලාභ ලංකාවේ සියලු පළාත්වල සියලු ජාතීන්ට අයත් ප්‍රජාව වෙත ගලා යාමට සැලැස්වීම අපගේ ඊළඟ ප්‍රධාන අරමුණ වේ. එය සිදු නොකර, අලුතින් ගොඩනැඟෙන සංවර්ධන ක්‍රියාදාමයේ සැබෑ රිද්මය සාක්ෂාත් කිරීමට නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

මෑතකාලයේ සිදු වූ විශාලතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දීමට අපට සිදු විය. එම ව්‍යසනයේ අත්දැකීම වේදනාකාරී වුවද, ගෙවුණු වසර එකහමාරක කෙටි කාලය තුළ අප ගොඩනඟා ගත් ස්ථාවර පදනම් මත, සියලු පාර්ශ්වයන්ගේ සහායද සහිතව, යළි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තුළ අපි සාර්ථකව ඉදිරියට පියමං කරමින් සිටිමු.

නිදහස ලබා ගෙවුණු කාලය තුළ, නිවැරදි දිශානතියක් කරා අප රට යොමු කිරීමටත්, ජාතික වශයෙන් ළඟා කර ගත යුතු ඉලක්ක ළඟා කර ගැනීමටත්, එකමුතුව ජීවත් වීමටත් ලැබූ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථා බොහෝවිට මඟ හැරී ඇත.

එහෙත්, මෙවර එම වරද නැවත සිදු නොකර, අප රට පැවතියාටත් වඩා දියුණු, ශක්තිමත් සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ තිර අදිටනින් යුතුව අපි වෙහෙසෙමු. එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ අපගේ අභිමානවත් සංස්කෘතිය, පෞරාණික ඉතිහාසය සහ අගනා උරුමයන් ආරක්ෂා කර ගනිමින්, ඒ මත සවිමත් ලෙස දෙපා තබාගෙන බවද මෙහි ලා සිහිපත් කරමි.

විසිවන සියවස තුළ උපන්, එහෙත්, බොඳව ගිය අභිමානවත් රටක් පිළිබඳ වූ සිහිනය, විසිඑක්වන සියවස තුළ සැබෑ කරමින්, රටේ ජනතාව අපේක්ෂා කරන දියුණු, ඉසුරුමත් සහ යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟා, අප ප්‍රාර්ථනා කරන නව යුගය නියත වශයෙන්ම නිර්මාණය කළ හැකි බවට මා සතුව ඇත්තේ අචල විශ්වාසයකි. එහිදී මෙරට සියලු පුරවැසියන්ගේ ශක්තිය, ඔවුන්ගේ සාමුහිකත්වය සහ නොසැලෙන ගුණය කෙරෙහි අපි දැඩිව විශ්වාස තබා ඇත්තෙමු.

ගෙවුණු සියවසේ මඟහැරුණු ජයග්‍රහණ මෙරටට අත්කර දෙමින්, සියලු දෙනා එක්ව දකින සුන්දර සිහිනය වන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම සඳහා එකමුතුව, තිර අදිටනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු’යි සියලු පුරවැසියන්ට යළි ආරාධනා කරමින්, නිදහසේ සැබෑ අරමුණු කරා අප රැගෙන යාමට දිරි වඩන, අර්ථවත් ජාතික නිදහස් දිනයකට සුබපැතුම් එක් කරමි.

නව විගණකාධිපති පත් කරයි.!

නව විගණකාධිපති පත් කරයි.!

අද (03) දින රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනි ලෙස කටයුතු කරන සමුදිකා ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනි ලෙස කටයුතු කරන සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර ඇත.