Top Story

ජනාධිපතිවරණ ප්‍රධාන පොරොන්දු 30න් 10ක් ඉටුකර අවසන්.!

ජනාධිපතිවරණ ප්‍රධාන පොරොන්දු 30න් 10ක් ඉටුකර අවසන්.!

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දු 30කින් 10ක් නොවැම්බර් වනවිට ඉටුකර අවසන් බව (Manthri.lk) වෙබ් අඩවිය සඳහන් කරයි.

අනුර මීටරය ප්‍රතිපත්ති ප්‍රකාශක ප්‍රගති නිරීක්ෂණයේ නවතම යාවත්කාලීනයට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 නොවැම්බර් වන විට ඔහුගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30ක් අතරින් 10ක් ඉටු කර ඇත.

තවත් පොරොන්දු 10ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර පොරොන්දු 9ක් කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති අතර 1ක් පොරොන්දුවක් අසාර්ථක වී ඇත.

මෙම තක්සේරුව 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දු 30ක් නිරීක්ෂණය කළ අතර එයට 2026 අයවැය ද ඇතුළත් වූ නමුත් දිට්වා සුළි කුණාටුවට පෙර එය සම්පූර්ණ කරන ලදී.

අනුර මීටරය විසින් නිරීක්ෂණය කරන ලද පොරොන්දු තෝරා ගනු ලැබුවේ ඒවායේ පවතින ඉහළ මහජන උනන්දුව සහ ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින්ය.

ඒවා ආර්ථික ප්‍රතිසංස්කරණ, පාලනය, දූෂණ විරෝධී, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂාව ඇතුළු ප්‍රධාන ප්‍රතිපත්ති ක්ෂේත්‍ර මෙම පොරොන්දු හරහා ආවරණය කරයි.

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්.!

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ලබන මස (04) වැනිදා සිට (12) වැනිදා දක්වා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙයි.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී එලෙස ප්‍රදර්ශනය කෙරෙන්නේ, ගුජරාටයෙන් සොයාගත් සර්වඥ ධාතුන් වහන්සේයි.

ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් ගහපු ගැහිලි හෙළිවෙයි.!

ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් ගහපු ගැහිලි හෙළිවෙයි.!

2024 වර්ෂය තුළ ජනාධිපති අරමුදලේ සිදුවූ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

රුපියල් කෝටි 944කට වැඩි මුදලක් අනුමැතියකින් තොරව ආයෝජනය කර ඇති බව විගණනයේ දැක්වෙයි.

යම් මුදලක් ආයෝජනය කළ හැකි වන්නේ ජනාධිපතිවරයා දෙනු ලබන විධි විධානවලට අනුව පමණක් බවයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් 2024 වර්ෂයේ ජූලි මස (31) වනදා සිට දෙසැම්බර් මස (31) වනදා දක්වා පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ආයෝජනය කර ඇති බව විගණනයට අනාවරණය වී ඇත.

එලෙස ඔවුන් ස්ථාවර සහ කාලීන තැන්පතු ලෙස ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 944.7ක් වන අතර එහිදී කළමනාකාරීත්වය විගණනයට සඳහන් කර ඇත්තේ 2024 වර්ෂයේ පාලක මණ්ඩලය රැස් එක් වතාවක් පමණක් බවයි.

ඒ 2024 අගොස්තු (15) වන දින බවත් ඔවුන් සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් එම තැන්පතු සඳහා ඔවුන් අනුමැතිය ලබාගෙන තිබුණේ 2025 වර්ෂයේ ජනවාරි (28) වනදායි.

එමෙන්ම 2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදල මගින් සලකා බැලීමකින් තොරව මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදීම පිළිබඳව ද කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් 56 දෙනෙකු වෙත වෛද්‍යාධාර වශයෙන් රුපියල් 131,371,110ක මුදලක් ලබාදී ඇති බවයි විගණනයේ දැක්වෙන්නේ

වෛද්‍යාධාර ලබා දීමේදී සලකා බලනු ලබන විධිමත් අයදුම්පත්‍රය, මාසික ආදායම්, ප්‍රාදේශීය ලේකම් වාර්තාව, මූල්‍ය වත්කම්, උපරීම වෛද්‍ය ආධාර මූල්‍ය සීමාවන් ආදිය ද සලකා බැලීමකින් තොරව මෙම මුදල් ලබාදී ඇති බව විගණනය අනාවරණය කර ඇත.

2024 වර්ෂයට අදාළව ජනාධිපති අරමුදලෙහි මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සඳහන් කර ඇත.

දිට්වා අතරතුර කොත්මලේ ජලය මුදාහැරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව නඩු.!

දිට්වා අතරතුර කොත්මලේ ජලය මුදාහැරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව නඩු.!

පසුගියදා ශ්‍රී ලංකාව මුහුන දුන් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා අවම කිරීමට අපොහොසත් වීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ ආපදා කළමනාකරණ කමිටුවට නියෝග කර තිබේ.

මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයකු වන කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණුනි.

එහිදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර, රජය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ බ්‍රිතා අහමඩ් මහත්මිය කරුණු ඉදිරිපත් කළාය.

ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එළඹෙන ජූලි මස 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට නියම විය.

ජනාධිපතිවරයා (නීතිපතිවරයා මගින්), අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ජාතික ආපදා කළමනාකරණ කමිටුව මෙහි වගඋත්තරකරුවෝ වෙති.

කොත්මලේ ජලාශයේ ජලය මුදාහැරීමට ප්‍රථම බලධාරීන් විසින් නිසි පරිදි ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් මහනුවර, පේරාදෙණිය, ගලහ සහ ගම්පොළ යන ප්‍රදේශවලට දැඩි හානි සිදු වූ බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

සුළි කුණාටුව හා ගංවතුර හේතුවෙන් මහනුවර අධිකරණ සංකීර්ණය අසල පිහිටි සිය නීතිඥ කාර්යාලය සහ එහි තිබූ වටිනා දත්ත පද්ධති විනාශ වීමෙන් තමන්ට දැඩි වෘත්තීයමය පාඩුවක් සිදු වූ බව ඔහු සඳහන් කරයි.

පෙත්සම්කරු අවධාරණය කරන්නේ වගඋත්තරකරුවන්ගේ අතපසුවීම් සහ නොසැලකිලිමත් භාවය හේතුවෙන් ආපදා තත්ත්වය තවදුරටත් උග්‍ර වූ බවයි. 

එබැවින්, මෙම ක්‍රියාකලාපය මගින් තමන්ගේ සහ රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

‘දිට්වා’ කඳුකර වනාන්තර වලින් 34%කට හානි කරයි.!

‘දිට්වා’ කඳුකර වනාන්තර වලින් 34%කට හානි කරයි.!

“දිට්වා සුළි කුණාටුව” සමග ඇතිවු තද වැසි හේතුවෙන් සිදුවූ නායයෑම් වලින් මෙරට කඳුකර වනාන්තර පද්ධතියෙන් 34%ක් හානියට පත්ව ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.

“දිට්වා සුළි කුණාටුව” මෙරට පරිසරයට සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ මූලික වාර්තාවෙන් මේ බව අණාවරණය කර ඇති බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කරයි.

ආපාදා වලින් මෙරට ප්‍රධාන ගංගා ද්‍රෝණි 7ක පරිසර පද්ධති වලට හානි වී ඇති බවත් මෙරට වෙරළ හා කලපු පරිසරයට සිදුවූ හානි පිළිබඳව අදාළ වාර්තාවෙන් කරුණු අණාවරණ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යතුමියගේ තෛපොංගල් සුබ පැතුම් පණිවිඩය.!

අග්‍රාමාත්‍යතුමියගේ තෛපොංගල් සුබ පැතුම් පණිවිඩය.!

ශ්‍රමයේ මහිමයටත් සොබාදහමෙන් ලද රැකවරණටත් ස්වකීය කෘතඥතාව පළකරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක අභිමානය සනිටුහන් කරමින්, තෛපොංගල් උත්සවය සමරන දෙස් විදෙස් දෙමළ ජනතාව වෙත මගේ හෘදයාංගම ශුභාශිංසනය පිරිනමමි.

මිනිස් ජීවිතය ස්වභාවධර්මය සමඟ කෙතරම් අවියෝජනීය ලෙස බැඳී පවතින්නේ ද යන්න මෙම උතුම් මංගල්‍යය ලොවට පසක්කරයි. අප සැම ස්වභාවධර්මයේම නිර්මාණයෝය.

සොබාදහමට අකීකරුවීමෙන් හෝ එය අභිබවා යමින් අපට යාහැකි ගමනක් නැත. ඒ අර්ථයෙන් සොබාදහමෙන් අපට ලැබෙන ආශිර්වාදයන්ට පෙරළා ගරු කිරීම අපගේ උතුම් මානුෂීය ගුණයක් ලෙස හැඳින්විය හැක.

රටක් ලෙස අප අද සිටින්නේ තීරණාත්මක වෙනසක අභිමුවය. ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ, ආකල්පමය පරිවර්තනයක් ද ඇති කරමින්, දේශය ‘පුනරුද යුගයක්’ කරා මෙහෙයවීමේ දැවැන්ත වගකීම අප සැම සතුවේ.

අභියෝග මධ්‍යයේ වුවද, රජයක් ලෙස අප එම වගකීම භාරගෙන දේශයේ අභිවෘද්ධිය උදෙසා වූ නව වසරකට අධිෂ්ඨානයෙන් යුතුව මුලපුරා ඇත්තෙමු.

“අපට බත් පතට අත තැබිය හැකිවන්නේ ගොවියා මඩේ පා තැබුවහොත් පමණි ” යන කියමන අනුව, රටේ අනාගත සමෘද්ධිය වෙනුවෙන් අද අප කරන කැපවීම ද සරු අස්වැන්නක් අපේක්ෂාවෙන් වගා බිමක් සකස් කිරීම හා සමානය.

සොබාදහමට ගරු කරමින් ඊට කෘතවේදීත්වය පළ කරන මෙම තෛපොංගල් උත්සවය, යහපත් සංස්කෘතික වටිනාකම්වලින් හෙබි පුරවැසියන් බිහි කිරීමට අපට කරන මග පෙන්වීමක් බඳු ය.

එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු.

තෛපොංගල් මංගල්‍යය සමරන දෙමළ ජනතාවගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවායි ද, මෙම නව ආරම්භය සැමට සතුට සහ සෞභාග්‍යය උදා කරදීමට හේතුවේවායි කියාද මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

ලංකාව තුළ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්.!

ලංකාව තුළ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්.!

ශ්‍රී ලංකාව තුළ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක සඳහන් කරයි.

ඉන්ෆ්ලුවන්සා A හා B මෙන්ම ඉන්ෆ්ලුවන්සා නොවන වෛරස් රෝගවල ව්‍යාප්තියද හදුනාගෙන ඇති බවද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක සඳහන් කරයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්‍යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව, කායික රෝග විශේෂඥ කේ.වී.සී ජානක සඳහන් කරයි.

මුලතිව් දිස්ත්‍රික්කයට මහ වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා වෙයි.!

මුලතිව් දිස්ත්‍රික්කයට මහ වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා වෙයි.!

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන වැසි තත්වයන් අතරින් වැඩිම වර්ෂාපතනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිලි ගොවිජන සේවා මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙම මි.මී 135.5ක වාර්ෂාපතනයක් ලැබී ඇති බව එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සාලව ප්‍රදේශයට මි.මී 108.5ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනරීන් ප්‍රදේශයට මි.මී 102.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයට මි.මී 72.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්ය.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවෙල්ල පෙන්රිත් වත්ත ප්‍රදේශයට මි.මී 50.5ක වර්ෂාපතනයක්, බදුල්ල – වැලිමඩට වැවේගම ප්‍රදේශයට මි.මී 50.40ක් සහ මාතර මාකඳුර ප්‍රදේශයට මි.මී 50ක වර්ෂාපතනයන් ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් වැඩිදුරටත් සඳහන් කරයි.

වාර විභාගය අවලංගුයි.. උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න.!

වාර විභාගය අවලංගුයි.. උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න.!

අයහපත් කාලගුණය හේතුවෙන් 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි මස (12) වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් (16) වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වනවිට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින අතර පළාත් වශයෙන් ලබා දෙන ඉදිරි තහවුරු කරගැනීම් වලදි සිදු විය හැකි සංඛ්‍යාමය වෙනස් වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිල දැනුවත් කිරීම් සිදු කරයි.

රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීමයි.!

රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීමයි.!

රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව රජය ලබාදී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ සියලු ප්‍රතිසංස්කරණ මෙම දෙසැම්බර් (31)ට පෙර නිම කරන ලෙසත්, එම ප්‍රතිපාදන කිසිසේත් ආපසු හරවා එවීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ජනතාවට සහන සැලසීමේදී සහ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ප්‍රතිපාදනවල කිසිදු හිඟයක් නොමැති අතර අවශ්‍යව ඇත්තේ මෙම හදිසි අවස්ථාවේ සීමා නොසළකා මනා සම්බන්ධීකරණයෙන් සියලු ආයතන තම වගකීම ඉටුකිරීම බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ, පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට (08) පස්වරුවේ ඌව පළාත් පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 19,133කට අයත් පුද්ගලයන් 64,140ක් පීඩාවට පත්ව සිටිති. නිවාස 418කට පූර්ණ හානි සහ නිවාස 7,703කට අර්ධ හානි සිදුව තිබේ.

හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය, විදුලිය, ජලය, සන්නිවේදනය, වාරිමාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, කෘෂිකර්මාන්තය යළි ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රය, මිරිදිය ධීවර කර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩසටහන් පිළිබඳ මෙහිදි ජනාධිපතිවරයා වෙන් වෙන්ව කරුණු විමසීය.

මාර්ග සංවර්ධනයේදී මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන මාර්ග ලෙස බෙදා වෙන් නොකර සියලු මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සමාන්තරව සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ලබාදී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටින ලෙසද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ස්ථීර ප්‍රතිසංස්කරණ අවශ්‍ය සමස්ත මාර්ග පිළිබඳ ඇස්තමේන්තුවක් සකස් කර ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනවාරි මාසය වන විට එම කටයුතු ආරම්භ කිරීමට ප්‍රතිපාදන ලබාදිය හැකි බව සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු දිස්ත්‍රික්කයේ විදුලි සේවා සැපයුම්වලින් 90%ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙන බව සඳහන් කළ නිලධාරීහු ඉතිරි ඒවාද කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත්, දිස්ත්‍රික්කයේ ජල සැපයුම අවශ්‍ය පරිදි ලබා දීමට පියවර ගෙන ඇති බවත් පෙන්වා දුන්හ.

පාසල් යළි ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන් කඩිනමින් ගෙවා අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වගා බිම් අක්කර 6,711කට හානි සිදුව තිබෙන අතර අදාළ ගොවින් සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් වන්දි ලබා දී, යළි වගාව සඳහා යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම මහ කන්නය යළි අස්වැද්දිය හැකි අන්දමින් ගොවි බිම් සඳහා තාවකාලිකව හෝ ජල සැපයුම් ලබා දීමට කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලටද පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබා දෙන රුපියල් 25,000ක දීමනාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව මෙම සතියේ කැබිනට් තීරණයකට එළඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

විනාශ වූ සහ හානි සිදු වූ නිවාසවලට වන්දි ලබා දීම සහ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම කඳවුරුවල ජීවත්වන ජනතාවගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සියලු කාර්යයන්හීදී අසීමිත කැපවීමකින් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවට, රාජ්‍ය නිලධාරීන්ට සහ ජනතාවටද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ස්තූතිය පළ කර සිටියේය.