Top Story

හානියට පත් ආගමික සිද්ධස්ථාන එහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් ගොඩනඟනවා.!

හානියට පත් ආගමික සිද්ධස්ථාන එහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් ගොඩනඟනවා.!

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (27) ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර, උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන 06ක් පූර්ණ හානියට ලක්ව තිබෙන අතර සිද්ධස්ථාන 15කට අර්ධ හානි සිදුව තිබේ.

ඒවා යළි ගොඩනැඟීම ආරම්භ කරමින් සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක් විය.

දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන 1350කට පමණ හානි සිදුව ඇති බවත්, ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන අතර සහ සබඳතාව යළි තහවුරු කිරීම වෙනුවෙන් එම සිද්ධස්ථාන කඩිනමින් යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපේ රට පහුගිය කාලයේ විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. එම ව්‍යසනය මෑත ලංකා ඉතිහාසයෙ ඇති වූ විශාලතම ස්වභාවික ව්‍යසනයයි. සාමාන්‍යයෙන් දෙදහසකට ආසන්න නාය යාම් වාර්තා වී තිබුණා.

ඒ වගේම මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. දේපොළ, නිවාස, ආර්ථික අවස්ථා විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසා යළි අපේ රටේ ජන ජීවිතය යථාවත් කිරීමේදී රජයක් ලෙස දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ලෙස අපි සියලු දෙනාට අභියෝගයක් තිබුණා.

මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් අද අපි එම අභියෝගය ජය ගෙන තිබෙනවා. අපි තවත් ඉදිරියට යා යුතුයි. නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකර දිය යුතුයි. ඒ වගේම ආර්ථික අවස්ථා යළි නිර්මාණය කර දිය යුතුයි.

සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් ජනතාවගේ ජන ජීවිතය යළි නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කර තිබෙනවා. ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන සමග ජනතාවගේ ඉතා සමීප සබඳතාවක් තිබෙනවා.

ජන ජීවිතය සම්පූර්ණ කිරීමට නම් එම ආගමික සිද්ධස්ථාන ඉතා හොඳින් පිළිසකර කර ජනතාවගේ ජන ජීවිතය සමග සහ සම්බන්ධය සකස් කළ යුතුයි. මේ වන විට ආගමික සිද්ධස්ථාන 1350කට ආසන්න ප්‍රමාණයකට විවිධාකාරයෙන් හානි සිදුව තිබෙනවා.

ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය ගම – පන්සල අතර තිබෙන සබඳතාව තහවුරු කිරීමට නම් මේ ආගමික සිද්ධස්ථාන යළි ස්ථාපිත කළ යුතු බවට තිර අදිටනින් අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

ග්‍රාමීය විහාරස්ථාන ඉතා අසීරුවෙන් පවත්වාගෙන යන බව අපේ ස්වාමීන්වහන්සේ සඳහන් කළා. එම ග්‍රාමීය විහාරස්ථාන තෝරාගෙන ඒවා සංවර්ධනය කිරීමට වේගවත් වැඩසටහනක් ආරම්භ කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය මගින් අපි සැලසුම් කර තිබෙනවා.”

නාලන්දා විද්‍යාලයේ වින්දිත සිසුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිං.!

නාලන්දා විද්‍යාලයේ වින්දිත සිසුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිං.!

මෑතකදී සමාජ මාධ්‍ය කැළඹීමට පත් කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරියන් සමග වීඩියෝ දර්ශන පෙළක් සම්බන්ධයෙන් වාර්තා වන පුවතට අදාළ ප්‍රධාන සැකකරු අදාළ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටි දැනට පාසලෙන් නෙරපා ඇති සිසුවෙකු බව අනාවරණය වී තිබේ.

පාසලේ ගුරුවරියන් තිදෙනෙකු සහ තවත් සිසුවෙකුගේ මවක් සමඟ අවස්ථා කිහිපයකදී වීඩියෝ ඇමතුම් හරහා අසභ්‍ය ක්‍රියාකාරකම්වල නිරත වී තිබෙන මෙම සිසුවා ඒවා රහසිගතව පටිගත කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත. එලෙස පටිගත කරන ලද දර්ශන පසුකාලීනව වෙනත් පාර්ශ්වයක් අතට පත්ව අන්තර්ජාලයට මුදා හැර ඇති බව පැවසෙයි.

පාසල පිහිටි ප්‍රදේශයේ බොරැල්ල හෝ මරදාන පොලිස් ස්ථාන වෙත මේ දක්වා නිල පැමිණිල්ලක් ලැබී නොමැත. කෙසේ වෙතත් පාසල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙය මීට කලකට පෙර සිදුවූවක් බවත්, සිද්ධිය ප්‍රසිද්ධ වීමත් සමඟ අදාළ ශිෂ්‍ය නායකයා ඇතුළු සමස්ත ශිෂ්‍ය නායක මණ්ඩලයම විසුරුවා හැරීමට පාසල් බලධාරීන් කටයුතු කර ඇති බවත්ය.

මෙම සිවුදෙනාම විවාහකයින් බවට සැක කෙරෙයි. ඔවුන්ද මෙම සිද්ධියෙන් අනතුරුව වින්දිත ගුරුවරියන් පාසලින් මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

වීඩියෝ සම්බන්ධයෙන් එක් ගුරුවරියක තම සමාජ මාධ්‍ය ගිණුමක සඳහන් කර ඇත්තේ මෙය AI තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මඩක් බවයි.

සිද්ධියට මුහුණ පෑ බව කියන ශිෂ්‍යයා විසින් මීට සති තුනකට පමණ පෙර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ වීඩියෝ දර්ශන මේ වන විට ප්‍රසිද්ධ වී ඇති බවත් ඒවා ඉවත්කර තම පුද්ගලිකත්වය ආරක්ෂා කර දෙන ලෙසත්ය. එහිදී එම ආයතනය විසින් ඔහුට උපදෙස් දී ඇත්තේ මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි. 

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඔහු පැමිණිල්ලක් යොමු කර ඇති බව මේ වනවිට තහවුරුවී තිබේ.

GMO අඛණ්ඩ වර්ජනය අරඹයි.!

GMO අඛණ්ඩ වර්ජනය අරඹයි.!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව, 
01. සායන හා බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම 

02. රෝහල් පද්ධතිය තුළ නැති රසායනාගාර පරීක්ෂණ, පිටත රසායනාගාරවලින් හා පිටත පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගැනීමට තුණ්ඩු නැත්නම් නිර්දේශ නිකුත් නොකිරීම.

03. දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සැපයීමට නොහැකි නම් සහ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාවක් අනුමත කරගෙන නොමැති නම් රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කිරීමට අවස්ථාව ලබා නොදීම.

04. සමහර අවස්ථාවන්වල දේශපාලනික වුවමනාවට හා දේශපාලනික අවශ්‍යතාවයන් මත පවත්වන යම් යම් සායන සහ සෞඛ්‍ය කඳවුරුවලට සහයෝගය නොදැක්වීම.

05. යම් රෝහලක, සායනයක සහ බාහිර ප්‍රතිකාර ඒකකවල රෝගියා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාට සහයට, සහයක නිලධාරියෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු ඒ ස්ථානවල රාජකාරීවලින් ඉවත් වීම. 

යන ක්‍රියාමාර්ග 05ක් යටතේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට නියමිතය.

එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා 

”අපි හෙට සිට ආරම්භ කරන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පහ වැඩ නොකර ඉන්න නෙමෙයි. හෙට සිට අපි වැඩ කරනවා හැබැයි වැඩ කරන්න පුළුවන් වටාපිටාව ඇතුළේ.. ඔබ අවශ්‍ය පහසුකම් ටික දුන් නැත්නම් මතක තියාගන්න ඔබ නිසයි මේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටෙන්නේ..  

එහෙනම් ඒකෙ වගකීම ගන්න සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය හෙට සිට සූදානම් විය යුතුයි. ඒ වාගේම අපි මධ්‍යම කාරක සභාවක් කැඳවනවා ජනවාරි මාසේ 28වන බදාදා. මෙන්න මේ මධ්‍යම කාරක සභාවේදී, මෙතනින් එහා ගිය වෘත්තීය සමිති  ක්‍රියාමාර්ගවලට එළඹෙන්න අපි අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.. ඒ නිසා, මේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිනෙන් දින, දිනෙන් දින වැඩි වෙන එක වෙන්නේ.

මතක තියාගන්න මෙතනින් එහාට මේ වෘත්තීය සමිති  ක්‍රියාමාර්ග නිසා යම් තැනක සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා නම්, යම් තැනක රෝගී සත්කාර සේවාවන් බිඳ වැටෙනවා නම් ඒකේ සම්පූර්ණ වගකීම මේ සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය ගන්න ඕන.”

රන් ඉතිහාසයේ ඉහළම මිල වාර්ථා කරයි.!

රන් ඉතිහාසයේ ඉහළම මිල වාර්ථා කරයි.!

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

එමෙන්ම රන් මිල මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවද විශේෂඥයින් මත පළ කරනු ලබයි.

එමෙන්ම රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති අතර පැලේඩියම් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ. 

මෙලෙස රන් මිල අඛන්ඩව ඉහළ යාමට බලපා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු තීරණ බව විදෙස් මාධ්‍ය පවසයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකාව විසින් යටත් කර ගැනීම, ග්‍රීන්ලන්තය සම්බන්ධව ට්‍රම්ප්ගේ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ අමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතා, මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට කළ අනතුරු ඇඟවීම යන කරුණු ද රන් මිල ඉහළ යාමට බලපා ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ.

නාමල් පොහොට්ටු එකතු කරයි.. වීරසිංහලා හැර යයිද.?

නාමල් පොහොට්ටු එකතු කරයි.. වීරසිංහලා හැර යයිද.?

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රබලයන් පිරිසක් යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

එම සාකච්ඡා බොහෝ දුරට සාර්ථක බව වාර්තා වන අතර ඉදිරි සති කිහිපයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු යළිත් එම පක්ෂය සමග එක්වීමට බොහෝදුරට ඉඩ ඇති බවත් වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන් හිටපු ඇමතිවරයකු වූ රමේෂ් පතිරණ මහතා පසුගිය 22 වැනිදා යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්විය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පාක්ෂිකයන්ගේ මතය වූයේ පක්ෂය හැර ගිය පිරිස් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත සම්බන්ධ කර නොගන්නා ලෙසයි.

එම මතය දැඩිව නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රසිද්ධියේ පවසා සිටියේ නැවත පක්ෂය හැර ගිය පිරිස් නැවත පක්ෂ වටා ඒක රාශී කරගන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත් හැර යන පලමුවැන්නා තමා බවයි.

කෙසේවෙතත් වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් වීසිංහ මන්ත්‍රීවරයා මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැත.

මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට.!

මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට.!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270ක පමණ ප්‍රමාණයක් ඇති බවට සැක කරයි.

අදාළ සැකසහිත බහුදින ධීවර යාත්‍රා දෙක මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වෙයි.

ජනතාව පීඩාවට පත් කරන සමාජ මාධ්‍ය නියාමනය.!

ජනතාව පීඩාවට පත් කරන සමාජ මාධ්‍ය නියාමනය.!

ජනතාව පීඩාවට පත් වන ආකාරයේ සමාජ මාධ්‍ය තුළ සිදුවන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (22) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිදු කරන ප්‍රචාරණය නියාමනය කිරීම පවතින නීතිය යටතේ සිදු කළ හැකි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ජනතාව පීඩාවට පත්ව සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් රට තුළ නොමැති බවත් ඒවා සම්පාදනය කිරීමෙන් මෙවැනි තත්ත්වය පාලනය කළ හැකි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සිදුවන ප්‍රචාරණය නියාමනය සඳහා හෝ එහෙම නැත්තම් ඒවායේ ලැබුණු පැමිණිලි විමර්ශනයෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනට පවතින නීතිය අනුව කටයුතු කරන්න පුළුවන්.

නමුත් මේ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ජනතාව පීඩාවට පත්වන සියලුම ශ්‍රේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් අපේ රටේ නෑ. ඒ නීති සම්පාදනය කළ යුතුයි.”

මාර්ටින් වික්‍රමසිංහට අපහාස කළ ටියුෂන් ගුරා ප්‍රසිද්ධියේ සමාව අයදී.!

මාර්ටින් වික්‍රමසිංහට අපහාස කළ ටියුෂන් ගුරා ප්‍රසිද්ධියේ සමාව අයදී.!

පසුගියදා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමිනි හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන්ට අපහාස සිදුවන ආකාරයේ කතා කළ ටියුෂන් ගුරුවරයා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.

සිය Facebook සමාජ මාධ්‍ය ගිණුම හරහා වීඩියෝවක් පලකරමින් මගින් සමාව ඉල්ලා සිටින අදාළ ටියුෂන් ගුරුවරයා මින් ඉදිරියට මෙවැනි දෙයක් සිදු නොවීමට වගබලා ගන්නා බවත් නැවතත් සමාව ඉල්ලන බවත් ප්‍රකාශ කර සිටී.

ඔහු වැඩිදුරටත් පවස්න්නේ මේ නිසා තමා සිත්තැවුලට පත්ව සිටින බවත් තමා ගැනම නුරුස්සනා හැඟීමක් ඇතිව තිබෙන බවත්ය. මේ අපහාස වීඩියෝව තමා විසින් ප්‍රසිද්ධියට පත් නොකළ ද ඒ සියල්ල පවසන්නේ තමා නිසා ඒ සියල්ලේ වගකීම තමා භාරගත යුතු බැවින් සමාව ඉල්ලා සිටින බව අදාළ ගුරුවරයා පවසයි. එහිදී තමා අනවශ්‍ය වචන ප්‍රකාශ කළ බව ද හෙතෙම කියයි.

‘වගකීම සහ වගවීම සමාවන්න…’ යනුවෙන් එම ගුරුවරයා සිය මුහුණු පොතේ සටහනක් තබා ඇත

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ බිරිඳ කූඨ ලේඛණ සකසා අක්කර 100ක් අල්ලාගෙන.!

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ බිරිඳ කූඨ ලේඛණ සකසා අක්කර 100ක් අල්ලාගෙන.!

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේ නාත්තන්ඩිය ප්‍රදේශයේ අක්කර 50ක ඉඩමක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා විසින් වෙනත් නමකින් අත්පත් කරගෙන තිබූ බවයි.

එමෙන්ම හලාවත බංගදෙනිය ප්‍රදේශයේ අක්කර 87-100 ප්‍රමාණයක්ද කූඨ ලේඛණ සකස්කරමින් අත්පත් කරගෙන තිබෙනා බවත් මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ විසින් එම ඉඩම් ලබාගැනීමට කටයුතු කරමින් සිටිනා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

12 වතාවක් පරීක්ෂා කර 3 වතාවක් සෝදුපත් බැලූ මොඩියුලයේ අසැබි වෙබ් අඩවිය කුමන්ත්‍රණයක්.?

12 වතාවක් පරීක්ෂා කර 3 වතාවක් සෝදුපත් බැලූ මොඩියුලයේ අසැබි වෙබ් අඩවිය කුමන්ත්‍රණයක්.?

පසුගියදා සමාජය තුළ මහත් කතා බහට ලක්වූ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසැභි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ මූලික පරීක්ෂණ කමිටුව විසින් සිදුකළ විමර්ශනය අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

මේ බව ප්‍රවාහන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනක් හා එක් වෙමිනි.

එම පරීක්ෂණ කමිටු වාර්තාවට අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන තිබු අතර ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරිනියන් දෙදෙනෙකුගේද වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුනි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පත්කළ ජාතික අධ්‍යාපන ආයතනයේ කමිටුව විසින් 8 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඉන් තිදෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා කර තිබේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ පොතක් මුද්‍රණය කිරීමේදී 12 වතාවක් පරීක්ෂා කරන බවත් ඉන් පසු 3 වතාවක් සෝදුපත් පරීක්ෂාකරන බවත් ය.

“මේ පිටිපස්සේ කුමන්ත්‍රණයක් වුණාද කියලා හොයන එක ඉතාම තර්කානුකූලයි. පරීක්ෂණයේ ප්‍රතිඵලය තමා මේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය අවසාන මොහොතේ දී අනුගමනය කරන්නේ නැතුව කරපු සංශෝධනයක් නිසා. මේ හරහා ගිහින් තමා මොඩියුල කරලා තියෙන්නේ, හැබැයි අවසාන මොහොතේ කරන සංශෝධනය මේ හරහා ගිහින් නෑ.”