Top Story

සැප්තැම්බර් සිට ජනපති අනුර නැවතත් පිටියට

සැප්තැම්බර් සිට ජනපති අනුර නැවතත් පිටියට

ලබන සැප්තැම්බර් මස සිට ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් මස (05) වනදා සිට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“ජී.එල් පීරිස්ගේ ගෙදර රෑට රෑට කුමන්ත්‍රණ කරගෙන ඉන්නේ නැතුව පාරට බැහැලා කරන්න කියන්න පුළුවන් නම්. ජනහමු තියන්න කියන්න ජනතා ඒකරාශී කරගෙන. එහෙම නැතිව ගෝඨාභයට වඩා එකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහට වඩා එකක් තියෙනවා,

අරහෙට වඩා එකක් තියෙනවා. මෙහෙට එකක් තියෙනවා. ඒවා වැඩක් නැහැ. වචන වැඩක් නැහැ. අපි ජාතික ජන බලවේගය ලෙස අපි ගම් මට්ටමෙන් ග්‍රාම නිලධාරි  වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා.

මේ සැප්තැම්බර් (05) වැනිදා ඉඳන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැළි පැවැත්වෙන දිස්ත්‍රික්කවල. අපි කියන්නේ එහෙම ආණ්ඩුවට එරෙහි ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න.

එච්චරයි කරන්න තියෙන්නේ, අපි විපක්ෂයේ හිටිය කාලයේ කරපු වැඩපිළිවෙලවත් පොඩ්ඩක් බලන්න කියන්නකෝ.”

කළුතර ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

“ඉතින් අවසරයි යන්නට ආයේ නොයෙන ගමනක්” ජාතියේ යශෝරාවය දැයෙන් සමුගනී

“ඉතින් අවසරයි යන්නට ආයේ නොයෙන ගමනක්” ජාතියේ යශෝරාවය දැයෙන් සමුගනී

දශක ගණනක් පුරා මෙරට අද්විතීය ගායන මෙහෙවරක නිරත වෙමින් සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී අචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද (22) දින පස්වරුවේ දැයෙන් සමුගත්තේය.

ආචාර්ය විශාරද නන්දා මාලනි මහත්මිය පසුගිය (20) වැනිදා නාවල පිහිටි නිවසේදි සිය දිවි ගමනට සමුදුන් අතර ඇය මියයන විට 82 හැවිරිදි වියේ පසුවූවාය.

සිය සංගීත ජීවිතය තුළ මෙන්ම තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ පවා ඉතාමත් චාම්, සරළ දිවි පෙවතක් ගත කළ නන්දා මාලනී මහත්මිගේ අභාවය සම්බන්ද පුවත මෙරට සමස්ත ප්‍රජාවම ශෝකයට පත් කරනු ලැබීය.

නන්දා මාලනී මහත්මිගේ අභාවය හේතුවෙන් රජය දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව පසුගිය (21), (22) සහ අද (23) දින දක්වා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

නන්දා මාලනී මහත්මිය විසින් සිය සංගීත ජීවිතය තුළ ගායන කළ ගී රැසක් මෙරට රසික රසිකාවියන් තුළ ඉමහත් ජනාදරයට පත් වු අතර සංගීත ක්ෂේත්‍රයට මිල කළ නොහැකි අමිල මෙහෙවරක් ඉටු කළ ඒ මහත්මිය සම්මාන රැසකින් ද පිදුම් ලැබුවාය.

ඇයගේ දේහය නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමය තුළ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණු අතර ජනාධිපතිවරයා, අගමැතිවරිය ඇතුළු දේශපාලනඥයින්, කලාකරුවන්, මහජනතාව ඇතුළු නන් දෙසින් බොහෝ පිරිසක් අවසන් ගෞරව දැක්වීය.

ඇයගේ දේහය පිළිබඳව ආගමික වතාවත් අද පෙරවරුවේ සිදු කරනු ලැබූ අතර ඒ සඳහා පවුලේ ඥාතීන් සහ කලාකරුවන් කිහිපදෙනෙකු එක්ව සිටියේය.

අනතුරුව යළිත් වරක් දේහය මහජන ගෞරවය සඳහා විවෘත කෙරුණු අතර පස්වරු 3.30ට පමණ නන්දා මාලනියගේ දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල කනත්ත දක්වා ගමන් ආරම්භ කළේය.

නාවල සිට බොරැල්ල කනත්ත දක්වා දේහය රැගෙන යන අතරතුර මග දෙපස විශාල ජනතාවක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටි අතර පස්වරු 4.30 පමණ වනවිට දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබීය.

නන්දා මාලනී මහත්මිගේ අන්තිම කැමති පත්‍රය අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණ කථන පැවැත්වීමකින් තොරව දේහය ආදාහනය කරනු ලැබූවේය.

ඒ අනුව දශක ගණනාවක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ අචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද පස්වරුවේ සදහටම දැයෙන් සමුගෙන ගියේය.

පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයයි

පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ශෝක පණිවිඩය පහතින්..

සිය ගායන කුසලතාව සමාජ සාධාරණත්වයේ සහ යුක්තියේ අඬහැරය බවට පත් කර, අලුත් ලොවක් ගැන සිතීමට පරපුරකට දිරි දුන්, සැබෑම ශ්‍රී ලාංකේය සත්‍යයේ හඬ, අග්‍රගණ්‍ය ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය ලාංකේය සමාජය මහත් කම්පාවට පත්කරවනු ලැබ තිබේ.

ළමා වියේ සිටම මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ස්වකීය අනන්‍යතාව සලකුණු කර ගත් ඇය, සිය ජීවිතය හුදු ගායිකාවක් පමණක් ලෙස සලකුණු කරනු වෙනුවට 80 දශකය වන විට දුෂ්ට සමාජ දේශපාලන මඩ ගොහොරුවක ගිල්වා තිබූ ශ්‍රී ලාංකේය සමාජය එතැනින් ඔසවා තැබීම වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ පුරවැසි ක්‍රියාකාරිනියක වූවාය. එපමණකින්ම ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගේ හදවතෙහි ගැඹුරුම තැනක ස්ථානගත වූ ඇය සිය මරණය දක්වා තමන්ගේ ප්‍රතිපත්තිගරුක සත්‍යයේ හඬ භූමිකාව ආරක්ෂා කර ගත්තාය.

සිය ජීවිතය තුළින් ලද පන්නරය සමගින් පොදු ජනතාවගේ දුක, කඳුළ, දහදිය හඳුනාගෙන සිටි ඇය, පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රණයකට එරෙහිව අභීතව සටන් වැදුනාය. ඇගේ මියුරු හඬ තමන් පෙළමින් ඇති පීඩිතභාවයට එරෙහිව සටන් වැදිය යුතු බවට ජනතාව කැඳවූ කාහලයක් විය.

මව්බිම පත්ව තිබූ ඛේදනීය තත්වයට සහ ජනතාව පෙළමින් තිබූ වේදනාවන්ට හෘදය සංවේදී වූ නන්දා මාලනිය, මර්දනකාරී දේශපාලන අධිකාරිත්වයට එරෙහිව නැඟූ ‘සත්‍යයේ ගීතය’, හුදු ‘පවනක්’ නොව චණ්ඩ මාරුතයක් වූ බවට සියලු ජීවමාන සාක්ෂිකරුවන් සාක්ෂි දරනු ඇත. තහංචි බාධා හමුවේ ජන හදවත් සමඟ ගැහුණු ඇගේ මධුර එහෙත් ගම්භීර හඬ, දුෂ්කරම සහ අඳුරුම අවස්ථාවන්හිදී ජනතාවට තම දුක් වේදනාවන් ඉවසා සිටින්නටත් ආලෝකය උදාවන තෙක් නොසැලී දරා සිටින්නටත් මහත් ශක්තියක් වූ බව මෙහිලා කෘතවේදීව සිහිපත් කරමි.

නන්දා මාලනිය ඇය ගත දැරූ ධවල වස්ත්‍රය සේම අදීන ප්‍රතිපත්තිගරුකභාවයෙන් සහ පටු පරමාර්ථවලින් නොකිළිටිව සිටියාය. කලාකරුවෙකුගේ පැවැත්ම අවසන් වන්නේ ඔහුගේ හෝ ඇයගේ හුස්ම වාතලයට මුසු වීම නතර වූ දින නොව, ඔහු හෝ ඇය විසින් සමාජයට දායාද කරන ලද නිර්මාණ මිනිස් හදවත් තුළින් මැකී යන දිනයේදීය. ඒ අරුතින් සැලකූ කළ, නන්දා මාලනී නම් වූ පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයනු ඇති බවට සැක නැත.

නන්දා මාලනී මහත්මියගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සියලු සාමාජිකයන්, ඥාතීන්, හිතවතුන් මෙන්ම සහෘද කලාකරුවන් සහ සුවහසක් රසික රසිකාවියන් වෙත මාගේ සාතිශය සංවේගය පළ කරමි.
‍
ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික දේහය තුළ ජනතාවාදී සලකුණ ගැඹුරින් තබමින්, සුවහසක් ජන හදවත් ප්‍රඥාවෙන් අවදි කළ ආචාර්ය නන්දා මාලනියනි, දැයෙන් සමුගන්නා ඔබගේ යුග මෙහෙවර මේ භූමිය මත සදානුස්මරණීයයි!

ශ්‍රී ලංකාවේ අමරණීය හඬට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ අමරණීය හඬට ජනපති අවසන් ගෞරව දක්වයි

දශක ගණනක් පුරා මෙරට අද්විතීය ගායන මෙහෙවරක නිරත වූ විශාරද නන්දා මාලනි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක එක්විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක, ඇයගේ දේහය තැන්පත් කර ඇති නාවල පිහිටි නිවසට පැමිණීමෙන් අනතුරුව දේහයට අවසන් ගෞරව දැක්වීය.

අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අමාත්‍ය බිමල් රත්නායක සහ අමාත්‍ය වසන්ත සමරසිංහ එක්ව සිටියේය.

නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිට පැමිණෙමින් සිටින අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී පස්වරු 5.30ට සිදුකිරීමට නියමිතය.

ආචාර්ය නන්දා මාලනියනි, ඔබේ හඬ මේ රටට සුවිශේෂී වූ සංස්කෘතික උරුමයක්

ආචාර්ය නන්දා මාලනියනි, ඔබේ හඬ මේ රටට සුවිශේෂී වූ සංස්කෘතික උරුමයක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි.

නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය.

ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය.

අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය.

එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ අමරණීය ස්වරය දැයට අහිමි වෙයි

ශ්‍රී ලංකාවේ අමරණීය ස්වරය දැයට අහිමි වෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අද්විතීය සලකුණක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ අතර ඇය නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.

ශ්‍රී ලාංකීය රස වින්දනීය ගීත කලාවට ඉතා වටිනාම සේවයක් ඉටුකළ ඇය සිය හඩින් මෙන්ම නිර්භීත කලා භාවිතයෙන්ද දේශයම කම්පනයට පත් කළ කලාකාරිණියක් වේ.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

ශ්‍රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.

රනිල්ගේ සංචාරය ගැන බ්‍රිතාන්‍ය රජයෙන් තහවුරුවක්.. නඩුවට මොකද වෙන්නේ.?

රනිල්ගේ සංචාරය ගැන බ්‍රිතාන්‍ය රජයෙන් තහවුරුවක්.. නඩුවට මොකද වෙන්නේ.?

ජනාධිපති ධුරය දැරූ සමයේ රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කරමින් එක්සත් රාජධානියේ සිදුකළ බව කියන පුද්ගලික සංචාරයේ විමර්ශනයට අදාළව තීරණාත්මක කරුණු තවදුරටත් අනාවරණය වෙමින් ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරමින් සිටියදී පසුගිය 2023 වසරේ සැප්තැම්බර් (22) සහ (23) යන දින දෙකේ එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය එක්සත් රාජධානියේ රාජ්‍ය තාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත සිදුකළ එකක් නොවන බව නැවතත් තහවුරු වී ඇත.

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන දෙපාර්තමේන්තුව එම වකවානුව තුළ එරට නිල සංචාර වල නිරත රාජ්‍ය නායකයින්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග ඒ බව නැවතත් තහවුරු වී ඇත.

රටේ ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කරමින් නිරතවූ පෞද්ගලික සංචාරයක් ලෙස විමර්ශනවලින් අනාවරණය වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ සහ එවක ඔහුගේ ලේකම් සමන් ඒකනායකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේය.

ගවර්මන්ට්.යුකේ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කර ඇති දත්තවලට අනුව 2023 මෙම කාලසීමාවේ රාජ්‍ය නායකයෙකු ලෙස රාජ්‍ය තාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත රනිල් වික්‍රමසිංහ එක්සත් රාජධානියේ සංචාරය කළ බවට කිසිඳු සඳහනක් දක්නට නොමැත.

සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මේ සම්බන්ධ සියලු තොරතුරු (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

පසුගිය අප්‍රේල් (29) වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රමාණවත් සාක්ෂි ඇති බවත් අපරාධ නඩුවක විමර්ශන කල් මැරීම තුළින් එම විමර්ශන වටිනාකම අඩුවී යන බැවින් කඩිනමින් සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර ලක්ෂ 166ක් වැයකර පෞද්ගලික විදේශ සංචාරයක නිරතවීමේ චෝදනාවට අදාළව රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක මේ වනවිට ඇප මත සිටියි.

පැමිණිල්ල යළි සැප්තැම්බර් මස (30) වනදා කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීමට නියමිතය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසු එය පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර අනතුරුව ඕනෑම පාර්ශවයකට ඒ සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සතියක දෙකක කාලයක් හිමි වේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාග කර දින 03ත් 21ත් අතර කාලය තුළ සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්පත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මහාධිකරණ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවෙනු ඇත.

ආරක්ෂක අංශයේ සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරයි

ආරක්ෂක අංශයේ සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරයි

දැනට යුධ, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (17) දින ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වර්තමාන ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආරක්ෂක අංශ නවීන තාක්ෂණය සමග වේගයෙන් ඒකාබද්ධ වීමේ සහ නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සහ නව දැනුම අත්පත් කර ගැනීම වෙනුවෙන් විදේශ පුහුණු අවස්ථා සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඉහළ නැංවීම පිළිබඳවද සාකච්ඡා විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය දිරි ගැන්වීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් හෙළිවෙයි

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් හෙළිවෙයි

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටි 30 හැවිරිදි බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස්ගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නැමැත්තාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා ඔහු සැලසුම් කරමින් සිටි බව ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත.

මම සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කොස් මල්ලී සමග පැවැත්වූ සංවාදවල හඬපට සොයාගත් බවත් නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතිවීමට දින තුනකට පෙර, ඔහු ඇප මත මුදා හැර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු, නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව අතරතුර මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් අස්මාන්ගේ ද සමීපතමයෙකි.