Top Story

විදුලි බිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය

විදුලි බිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය

පසුගිය කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබුණු බැවින් විදුලි ජනනය සඳහා වැය වන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බව වරාය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

එනිසා විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය නොවන බවත් ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ගණන් ඉහළ දැමීම සඳහා කිසිදු ආකාරයකට ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අමාත්‍ය අනුර කරුණාතිලක අද (11) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“අපි හිතනවා ඉදිරි මාස තුන, විශේෂයෙන් 2026 දී මේ එල්-නිනෝ තත්ත්වය නිසා අපිට කිසිම බලපෑමක් වෙන්නේ නෑ. ඒ වගේම කියන්න ඕන කාරණයක් තියෙනවා. අපි බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ නිසා විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් වුණා.

ඒ අනුව ඉදිරි කාර්තුව සඳහා විදුලි මිලේ වැඩි වීම සඳහා කිසිදු විදිහකට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස 03 සඳහා විදුලි ජනනය අඛණ්ඩව සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා.”

පාසල් පොත් බෑගයේ බර අඩු කරයි.. ආණ්ඩුවෙන් අලුත් වැඩක්

පාසල් පොත් බෑගයේ බර අඩු කරයි.. ආණ්ඩුවෙන් අලුත් වැඩක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ප්‍රාථමික පංති වල ක්‍රියාකාරකම් හරහා ⁣ඉගෙනුම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවත් එනිසා පොත් එහාට මෙහාට රැගෙන යාමට අවශ්‍ය වන්නේ නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය පොත් ලබා දෙන්න සහ ඒවා තුළ වැඩ කරන ක්‍රියාවලියක් ඇති කරන බවත් නව මොඩියුලර් ක්‍රමය තුලින් දරුවන්ගේ පොත් බෑගයේ බර සෑහෙන දුරට අඩු වෙන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“ප්‍රාථමික පංති වල කොහොමටත් ක්‍රියාකාරකම් හරහා ⁣ඉගෙනුම් ක්‍රියාවලියක් යන නිසා තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ පොත් එහාට මෙහාට ගෙනියන. පොත තියෙන්නේ පංති කාමරයේ.

ළමයා ඒකත් එක්ක වැඩ කරලා වාර අවසානයේදී තමා ඒක ගෙදර ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. 2027 ඉදන් අපි 6 වසරට හදුන්වා දෙන ක්‍රමවේදය තුළ, මොඩියුලර් ක්‍රමය නිසා,

මොඩියුලර් කියන්නේ ටෙක්ස් බුක් තරම් ලොකු පොත් නෙමෙයි. එනිසා ඒ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුලර් එකක් තමා දරුවන්ට ලබාදෙන්නේ. ඒක කොහොමටත් ප්‍රින්ට් කොපි එකක් වෙන්න ඕනි.

යම්තාක් දුරකට, අපිට සියලු දේම ඩිජිටල් කරණය කරන්න බෑ. විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය වෙනවා පොත් පත් ලබාදෙන්න සහ ඒවා තුළ වැඩ කරන ක්‍රියාවලියක් ඇති කරන්න.

නමුත් මොඩියුලර් ක්‍රමය තුලින් මේ පොත් බෑගයේ බර නම් සෑහෙන දුරට අඩු වෙනවා.”

22 ගැන විවාදයට දින නියම කරයි

22 ගැන විවාදයට දින නියම කරයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් (24) සහ (25) යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර ඇත.

මෙම පනත් කෙටුම්පත් දෙකෙහි දෙවනවර කියවීමේ විවාදය එදිනට පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (10) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව බලරහිතයි.. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව බලරහිතයි.. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචරාධිකරණය විසින් වසර හයක සිරදඬුවම් නියම කර තිබුණද, එම දඬුවමින් ඥානසාර හිමි නිදහස් කරමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොදු සමාවක් ප්‍රදානය කර තිබුණි.

ඉන්දු – ශ්‍රී ලංකා නව ගිවිසුම් තුනක්

ඉන්දු – ශ්‍රී ලංකා නව ගිවිසුම් තුනක්

මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං අද (09) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම, දෙරටෙහි ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවේදී, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා වැදගත් පියවරක් ලෙස නව ගිවිසුම් තුනකට අත්සන් තබා ඇත.

මේ අතර තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පිළිගැනීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණේය.

රට පුරාම සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

රට පුරාම සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

රටේ මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන් කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇත.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන්, එහි දෙවනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කර ඇත.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මේ බව අද (08) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මහින්ද සහ රනිල්ගේ දූෂණ ගැන UNHRC නවතම වාර්තාව හෙළිකරයි

මහින්ද සහ රනිල්ගේ දූෂණ ගැන UNHRC නවතම වාර්තාව හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය, දූෂණය සහ වංචා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් දැඩි ලෙස කඩවී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (UNHRC) නවතම වාර්තාව මගින් හෙළිකර ඇත.

මේ හේතුවෙන් සමාජ සුබසාධන වියදම් සඳහා රටේ ආදායමෙන් වැඩි කිරීමට සිදුව තිබෙන්නේ ඉතාම සුළු මුදලක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (UNHRC) නවතම වාර්තාවේ දැක්වෙයි.

දැඩි සංවාදයට ලක්වූ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සම්බන්ධය මෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ මහජන මුදල් අවභාවිතා කිරීමේ විමර්ශන පිළිබඳව ද අදාළ ‘UNHRC’ වාර්තාව මගින් අවධානය යොමුකර ඇත.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි නිත්‍ය සැසිවාරය අතරතුරදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නවතම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊට පූර්වගාමිව නිකුත් කළ වාර්තාවට අනුව 2026 ශ්‍රී ලංකාවේ අයවැයේ රාජ්‍ය ආදායමෙන් 49.38%ක් ණයවල පොලී ගෙවීම සඳහා වෙන් කිරීමට සිදුව ඇත.

රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව වෙන්කරන විට සෞඛ්‍ය, අධ්‍යාපනය, දුප්පත් සහ දැඩි අවදානමට ලක්වූ ප්‍රජාවන් උදෙසා වන සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් වෙන් කිරීමට හැකිව ඇත්තේ 1.9% ත් 2.4% ත් අතර ඉතා සුළු මුදලකි.

සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය හමුවේ බලශක්ති, ආහාර සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව මත අමතර පීඩනයක් එල්ල විය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය වසර අවසානයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ දූෂණ විරෝධී වැඩපිළිවෙළ, නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම, ආයතන ශක්තිමත් කිරීම, විමර්ශන පැවැත්වීම සහ නඩු පැවරීම් හරහා ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව මෙම වාර්තාවේ පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, එම ප්‍රතිසංස්කරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී තවමත් අභියෝග රැසක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වර්තමානය වනවිට විමර්ශන රැසක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම මෙම වාර්තාවේ ඇතුළත් කර ඇත.

තවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ මහජන මුදල් අවභාවිතා කිරීම පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නවතම වාර්තාවේ සඳහන් කර ඇත.

මොන වර්ගයේ අර්බුදයක් ආවත් මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් හදලා ඉවරයි

මොන වර්ගයේ අර්බුදයක් ආවත් මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් හදලා ඉවරයි

මොන වර්ගයේ අර්බුදයක් අභ්‍යන්තරව හට ගත්තත් එයට මුහුණ දෙන්න පුළුවන් විදියට රටේ ආර්ථිකය මේ ආණ්ඩුව හදලා තියෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“ලෝක බැංකුවෙන් වාර්තාවක් ලබාදීලා තිබෙනවා. සුනාමියෙන් ආර්ථිකයට වුණ විනාශයට වඩා වැඩියි දිට්වා වලින් ආර්ථිකයට වෙච්ච විනාශය. ගෙවල් 20,000ක් අපි අලුතෙන් හදන්න ඕන. අපි ඒ ගෙවල් 20,000ටම ලක්ෂ 50 ගානේ දෙනවා ගේ හදාගන්න.

මීට කලින් ලක්ෂ 16යි. අපි දිට්වා වලට වෙන් කරා කෝටි 50,000ක්. පාරවල් ටික හදන්න. වාරිමාර්ග ටික හදන්න. පැති බැමි ටික හදන්න. ගොවි ජනතාවගේ ජීවිතය නගා සිටුවන්න. ව්‍යාපාර වලට සහන දෙන්න. කෝටි 50,000ක් වෙන් කරා.

හැකියාව ලැබෙන්නේ කොතනින්ද, භාණ්ඩාගාරයේ කළු දොරටු වහනවා. කවදාවත් වන්දි නොගෙවපු දේවල්. දෙමුන් හරකෙකුට ලක්ෂ දෙකක් දුන්නා. බටු හරකෙකුට 50,000ක් දුන්නා. ඌරෙකුට 30,000ක් දුන්නා. එළුවෙකුට 30,000ක් දුන්නා.

බොයිලර් කුකුළෙකුට 200ක් දුන්නා. බිත්තර දාන කිකිලියෙකුට 400ක් දුන්නා. කවද්ද මෙහෙම දීලා තියෙන්නේ. කළු ආර්ථිකය බිඳ වට්ටපුවාම රට ඇතුලේ අභ්‍යන්තර වෙන අර්බුදයකට මුහුණ දෙන්න පුළුවන්.

අද මේ ආණ්ඩුව ඔප්පු කරලා තිබෙනවා මොන වර්ගයේ අර්බුදයක් අභ්‍යන්තරව පැන නැග්ගත් අපිට මුහුණ දෙන්න පුළුවන් විදියට අපි ආර්ථිකය හදලා තියෙනවා. දැන් අපිට මුහුණ දෙන්න පුළුවන්.

හැබැයි තාමත් අපිට බාහිර අර්බුදයක් අමාරුයි තාම. ඩොලර් ප්‍රශ්නය තාම තියෙනවා. බාහිර අර්බුදයක්. මැදපෙරදිග යුද්ධය කියන්නේ බාහිර අර්බුදයක්.”

බේරුවල පැවති ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

උණුසුම මැද්දේ ඇඟ සීතල වෙන කතා අරන් ජනපති අනුර නැවතත් කරළියට

උණුසුම මැද්දේ ඇඟ සීතල වෙන කතා අරන් ජනපති අනුර නැවතත් කරළියට

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි සහ රැස්වීම් මාලාවක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මහා ජනරැලි මාලාවේ පළමු රැලිය අද (06) දින පස්වරු 2.00ට බුලත්සිංහල සහ බේරුවල මහා රැලිය පස්වරු 3.30ට බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු, ප්‍රතිපත්ති සහ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව සෘජුවම මහජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ජනතාව වෙනුවෙන් ලබන අයවැයේදී මුදල් වෙන් කරන ව්‍යාපෘති පිළිබඳව සහ දැනට අවසන් කර තිබෙන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය ද මෙහිදී දැනුවත් කිරීමට නියමිතය.

ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් වෙනුවෙන් රජය සිදු කරන කැපවීම

ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් වෙනුවෙන් රජය සිදු කරන කැපවීම

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා එම ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමත්, එම ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් සාධනීය විසඳුම් රැසකට එළඹීමත් මෙහිදී සිදු විය.

මීට වසර 10කට පෙර ආරම්භ කර ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමග නැවතුණු පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක අයවැය ප්‍රතිපාදන වෙන් කෙරිණි.

මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජල හිඟය මග හැරවීම සහ තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 40,000ක් වූ කුඹුරු ඉඩම් යල, මහ කන්නයේ අස්වද්දා වගා තීව්‍රතාව ඉහළ නැංවීම, පානීය ජල සම්පාදනය, ජලවිදුලි උත්පාදනය සහ ප්‍රදේශයේ ගංවතුර පාලනය, සංචාරක කලාපයක් විවෘත කිරීම, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය සහ වනඅලි ගැටලු කළමනාකරණය ආදිය මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂිතය.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය 2029 – 2030 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීම රජයේ අරමුණ වන අතර එය ඉදිවීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත් වේ.

ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, අවතැන් වන ජනතාවට පැවතියාට වඩා හොද ජීවන තත්ත්වයක් ලබා දිය හැකි පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ඒ අනුව, එම ජනතාව වෙනුවෙන් නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති හඳුන්වා දීම, පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් ජාල සහ අපනයන සමාගම් සමග ඇති කර ගන්නා මිලදී ගැනීමේ ගිවිසුම් වලින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළෙඳපොළක් සකස් කර දීම ඇතුළු සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

වනජීවී දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව අලි වැටක් ඉදිකිරීම සහ නඩත්තු කිරීම මෙන්ම සාර්ථක දිගුකාලීන ජීව විද්‍යාත්මක විසඳුමක් ලෙස තල් වැට වැනි ස්වභාවික වැටවල් ස්ථාපනය කිරීමට අදාළව ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සිදුකළ යෝජනාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් නතර කර තිබූ, “කුඩා විලච්චිය වැව ව්‍යාපෘතිය” නැවත ආරම්භ කිරීම ඇතුළු සුළු සහ මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් බව මෙහිදී පෙන්වා දුන් තන්තිරිමලය රාජමහා විහාරාධිපති, පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිදු කරන කැපවීම අගය කරන බවයි.

ව්‍යාපෘතිය පිළිබඳ විශ්වාසයක් තබාගත හැකි අන්දමින් අද දින තීන්දු තීරණ රැසකට එළැඹීම පිළිබඳවද උන්වහන්සේ මෙහිදි සතුටු පළ කළහ.