ලොව පුරා සිටින වීඩියෝ නිර්මාණකරුවන් සහ නරඹන්නන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් චීනයේ YouTube ලෙස ප්‍රකට Bilibili වීඩියෝ ප්ලැට්ෆෝමය සිය සේවාවන් ජාත්‍යන්තර ඩිජිටල් අවකාශය වෙත ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.
YouTube, Twitch සහ Reddit යන සේවාවන්හි එකතුවක් ලෙස සැලකෙන Bilibili, මේ වනවිට මාසිකව සක්‍රීය පරිශීලකයින් (MAUs) මිලියන 370 කට අධික සංඛ්‍යාවක් භාවිත කරනු ලබන අතර එයින් 80% කට වැඩි ප්‍රමාණයක් Gen Z සහ Millennial පරම්පරාවල තරුණ නරඹන්නන් වේ.
පසුගිය 2009 වසරේදී ඇනිමේ (Anime) සහ වීඩියෝ ගේමින් (Video Gaming) ලෝලීන් සඳහා වූ සංසදයක් ලෙස ආරම්භ වූ Bilibili, පසුකාලීනව තාක්ෂණය, අධ්‍යාපනය, සංගීතය සහ ජීවන රටා (Lifestyle) අන්තර්ගතයන් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය විය.
තවද, මීට පෙර විදේශීය නිර්මාණකරුවන්ට Bilibili වෙත ලියාපදිංචි වීමේදී පැවැති සංකීර්ණ අනන්‍යතා තහවුරු කිරීමේ (ID verification) සීමාවන් ලිහිල් කරමින්, වඩාත් පහසු ජාත්‍යන්තර යෙදවුමක් (International App) හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත.
එහෙත්, ප්‍රකාශන හිමිකම් නීති (Copyright issues), දත්ත ආරක්ෂණ රෙගුලාසි සහ YouTube හි පවතින ගෝලීය ආධිපත්‍යය හමුවේ Bilibili හි මෙම ජාත්‍යන්තර ව්‍යාප්තිය අභියෝගාත්මක වනු ඇති බව ක්ෂේත්‍රයේ විචාරකයෝ සඳහන් කරයි.
