Advertisements

අද සිට රට පුරාම දැවැන්ත මෙහෙයුමක්

අද (16) දිනයේ සිට දින 26ක විශේෂ සක්‍රීය මෙහෙයුමක් දිවයිනේ අධි අවදානම් කලාප 63ක් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් නන්දික කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මූලික සාකච්ඡා වලින් අනතුරුව ඇරඹෙන මෙම මෙහෙයුම හරහා අධි අවදානම් කලාපවල පිහිටි සියලුම නිවාස, පොදු සහ පුද්ගලික ස්ථාන, හිස් ඉඩම්, කර්මාන්ත ශාලා සහ හෝටල් පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යංශය, පළාත් පාලන අමාත්‍යංශය, පරිසර පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ස්වෙච්ඡා කණ්ඩායම් ද මෙහෙයුමට එක්ව සිටින අතර ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ද සම්පත් දායකත්වය ඇතිව මෙම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.

පසුගිය (11) වැනිදා වන විට බස්නාහිර පළාතෙන් හඳුනාගත් ඩෙංගු අධි අවදානම් කලාප 23ට අමතරව තවත් කලාප 5ක් අලුතින් එක් කිරීමට ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහ නගර සභාවේ D1, D3, D4 කලාප ද, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැළණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මීගමුව, අත්තනගල්ල, දොම්පේ, ගම්පහ, කටාන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ද, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කළුතර යන කොට්ඨාස මේ යටතේ දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.

මීට අමතරව, මෙම උවදුර පාලනය සඳහා දීර්ඝකාලීන විසඳුම් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පිරිමි මදුරුවන් ව්‍යන්දාකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක වන අතර වොල්බැචියා බැක්ටීරියාව මෙරටට ගෙන්වා ඩෙංගු මර්දනයට යොදා ගැනීමේ විද්‍යාත්මක ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු වී ඇත.

එබැවින් අද දිනයේ සිට ඇරඹෙන මෙම ජාතික මෙහෙයුමට උපරිම සහාය ලබා දෙමින් තම නිවෙස් සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීමට දායක වන ලෙස වගකිවයුතු බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම දැවැන්ත ජාතික වැඩපිළිවෙළ පිළිබඳව සහ ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest