අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සැප්තැම්බර් (03) වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි දුරකථන වාර්තා වලින් හෙළිවූ අතර දේශපාලනඥයින් 09 දෙනෙකු පිළිබඳ ඡායාරූප හා සංවාද සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.
කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළේ,
“ස්වාමීනී.. ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කළ රතු නිවේදනයකට අනුව මෙම සැකකරු ඉන්දුනීසියාවෙන් පිටුවහල් කළා. ඉන් පසුව 2025 සැප්තැම්බර් (02) වනදා කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන කළා.
ඔහු රඳවා ගැනීම පිළිබඳව අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළා. මෙම සැකකරු භාරයේ තිබී ජංගම දුරකතන 8ක් සොයා ගත්තා. ඒවායේ දත්ත මකා තිබුණා. පසුව එම දත්ත ප්‍රතිඋත්පාදනය කර ගත්තා.
එම ජංගම දුරකතනවල තිබී දුරකතන ඇමතුම් 8841ක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඡායාරූප 32,6671ක් අනාවරණය කර ගත්තා. දුරකතන පටිගත කිරීම් 1101ක් සොයා ගත්තා. වීඩියෝ දර්ශන 5,039ක් හමු වී තිබෙනවා.“
“ස්වාමීනී.. එම ජංගම දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කළා.
ඔහුගේ දුරකතනවල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකතන අංක හමුවී තිබෙනවා. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළා. නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් 7 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා.
දේශපාලනඥයින් 9 දෙනෙකු පිළිබඳ ඡායාරූප සහ දුරකතන සංවාද හමුවී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.”
“බැංකු ගිණුම් 17ක් ගැන විමර්ශන කරනවා. මෙම සැකකරු 2021 මැයි මස (21) වනදා සිට නීත්‍යනුකූල විදේශ ගමන් බලපත්‍රයෙන් විද්ශගත වී තිබෙනවා.
මොහු ඩුබායි, ඉන්දුනීසියාව, රුසියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ලාඕසය ඇතුළු රටවල් 13කට අවස්ථා 15කදී පමණ ගොස් තිබෙනවා. මෑතකදී ගිනිඅවි සොයා ගැනීම් සම්බන්ධයෙන් ද මෙම සැකකරු ගැන විමර්ශනය කරනවා.”
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සැප්තැම්බර් (03) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
එහිදී සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරිණි.
තවද සැකකරු සැප්තැම්බර් (04) වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වෙනත් නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග කළේය.
