කුරුණෑගල කාර්මික විද්‍යාලයක සිසුන් පිරිසක් පසුගිය මස (25) වන දින රුපියල් 100ක මුදලක් ඉල්ලා එය ලබා නොදීම මත පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරින් විමර්ශණ කටයුතු සිදුකර සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පහරකෑමට ලක්වූ සිසුන් දෙදෙනා කුරුණෑගල බමුණුගෙදර ප්‍රදේශයේ නේවාසිකව සිටිමින් වයඹ ටෙක් කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර නේවාසිකාගාරයට යන මාර්ගයේදී සිදුවූ බහින්බස්වීමක් මත මෙම පහරදීම සිදුව ඇත.
මෙම පහරදීමේ සිද්ධියෙන් තුවාල ලැබූ වයස අවුරුදු 19ක් වන සිසුන් දෙදෙනා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
සිද්ධියට අදාළව ලැබුණු පැමිණිලි මත පොලිසිය විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් සිව්දෙනෙකු (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 24, 25 වයස්වල පසුවන ගෙපල්ලව, වීරඹුගෙදර, උහුමිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් (01) දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අයුතු ජනරාශියක සාමාජිකයින්ව සිට බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීම, පුද්ගලයින් දෙදෙනකුට පහරදී තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ ඔවුන්ට නඩු පවරා ඇත.
