බෙංගාල බොක්ක ආශ්‍රිත ඔඩිෂා වෙරළට නාවික සැතපුම් 240ක පමණ දුරින් පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිංගප්පූරුව බලා යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම නෞකාව අනතුරට පත්වන විට කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් චීන ජාතිකයින් 20 දෙනෙකු, මියන්මාර ජාතිකයින් තිදෙනෙකු සහ තවත් බංග්ලාදේශ ජාතිකයෙකු සිට ඇත.
රාත්‍රී 11.48ට ඉන්දියාවේ ශ්‍රී විජය පුරම් හී සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට නෞකාව සමග සන්නිවේදනය බිඳ වැටී ඇති බවට පණිවිඩයක් ලැබී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.
එම නෞකාව අනතුරට පත්වූ බවට දැනගත් වහාම ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
MV Ocean-Winner නම් වූ මෙම නෞකාව පසුගිය (20) වැනි දින රාත්‍රී 10.30ට පමණ ඔඩිෂාවේ පැරඩිප් වරායෙන් පිටත්ව ඇති අතර එහි යකඩ ලෝහ ටොන් 1,700ක් රැගෙන යමින් තිබූ බව සඳහන් වේ.
