ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අටවන සහ නවවන පාර්ලිමේන්තු වාරයන් පිළිබඳව සිදුකරන ලද විශේෂ විගණන වාර්තාවක් එළිදක්වා ඇත.
2019න් ආරම්භ වූ 9 වැනි පාර්ලිමේන්තුවේ අවසන් වසර දෙක තුළ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභාපති සහ පාර්ලිමේන්තු මහ ලේකම් වැනි තනතුරු සඳහා සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇතැයි එම විගණනයෙන් අනාවරණය වී ඇත.
කථානායකවරයා පමණක් පසුගිය 2023 වසරේදී ඉන්ධන ලීටර් 3,994 ක් සහ 2024 වසරේදී ඉන්ධන ලීටර් 6,122 ක් භාවිත කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
නියෝජ්‍ය කථානායක ධුරය සදහා කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් හා සමානව, සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇතැයි එම විගණන වාර්තාවේ සඳහන් වේ.
නියෝජ්‍ය කාරක සභාපති ධුරය, නියෝජ්‍ය කථානායක ධුරයට පහළ තනතුරක් ලෙස හදුනාගෙන එම තනතුර සඳහා ද සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් වේ.
ඒ අනූව පසුගිය 2023 සහ 2024 කාලය තුළ නියෝජ්‍ය කථානායකවරයාගේ පෞද්ගලික මෝටර් රථය සඳහා රුපියල් අසු පන් ලක්ෂ 45,037 ක් වටිනාකමින් යුත්, ඉන්ධන ලීටර් 21,299 ක් නිකුත් කර ඇත.
නියෝජ්‍ය කථානායකවරයා භාවිත කළ නිල වාහන තුන සදහා ඉන්ධන භාවිත කර ඇත්තේ, ධාරිතාව ඉක්මවා යමින් බව අදාළ වාර්තාවේ සඳහන් වේ.
ඒකාබද්ධ අරමුදලට වගකීමක් වන සහ පාර්ලිමේන්තුව නිශ්චය කළ යුතු පාර්ලිමේන්තු මහ ලේකම්ගේ වැටුප සඳහා පසුගිය 2004 වසරෙන් පසු, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොමැත.
පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අනෙකුත් දීමනා සහ වේතනයන් ලබාදීමේදී 2004 නොවැම්බර් (30) දිනැති හැන්සාඩ් වාර්තාවේ සඳහන් පරිදි මහ ලේකම්වරයාගේ දීමනා ආයතන සංග්‍රහයට අනුව සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට හිමි ප්‍රමාණයන්ගෙන් ලබාදිය යුතු බව දක්වා තිබුණ ද, එය එසේ සිදුකර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.
ඒ අනූව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් වේ.
නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් හා අනෙකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීත් සඳහා රාජකාරි ගමන් සඳහා සීමා රහිතව ඉන්ධන භාවිතයට පෞද්ගලික ගමන් සඳහා කිලෝමීටර් 1,200ක් හා කිලෝමීටර 960ක් දක්වා ඉන්ධන සැපයීමටත් කටයුතු කර ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.
