පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී අපරාධයක් සිදුවී ඇති බවත් මියගිය සිරකරුවන් කවුරුන් ද යන්න අධිකරණය වර්ගීකරණය නොකරන්නේ සියලු දෙනාගේ ජීවිත අධිකරණයට එක හා සමානව වටින නිසා බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා සඳහන් කළාය.
මියගිය පුද්ගලයින් 28 දෙනෙකුගෙන් 17 දෙනෙකුගේ මරණ වලට හේතුව වෙඩි වැදීම බවත් අනෙකුත් 11 දෙනාගේ මරණ වලට හේතුව මොට ආයුධ වලින් පහරදීම බව එම මරණකරුවන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණ වලදී තහවුරු කර ඇති බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය පිළිබඳව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සහකාර පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකු යටතේ වෙන් වෙන් වශයෙන් විමර්ශන කිහිපයක් පුළුල් ලෙස තවදුරටත් සිදු කරමින් පවතින බවයි.
එහිදී විමර්ශන වල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ,
“ස්වාමිනි, විමර්ශනයට අදාළව මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 200ක්, රැඳවියන් 563ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 130ක්, පොලිස් නිලධාරීන් 11ක් සහ සිවිල් පුද්ගලයන් 65 දෙනෙකුගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ විමර්ශනය අපි සිදුකරන්නේ ජුලි (05) පළමු දිනයේ පහරදීම, ජුලි (06) දෙවැනි දිනයේ පහරදීම, පුද්ගලයන් මියයාම හා බන්ධනාගාර දේපළවලට හානිකිරීම කියන කොටස් 03කට අදාළවයි.“
බන්ධනාගාර ගැටුමට අදාළ නඩු භාණ්ඩ ලෙස නම් කරන ලද ගිනිඅවි, ජීව උණ්ඩ, හිස් කොපු, පොලු මුගුරු, කළුගල් කැට, කොන්ක්‍රීට් කැබලි සහ පිහි, කඩු ඇතුළු තියුණු ආයුධ රැසක් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළේය.
අනතුරුව එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

