හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේග හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (03) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේය.
2023 වසරේ මාර්තු මාසයේදී රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වරුණහැන්දිගේ ඩුබායි රාජ්‍ය වෙත ගොස් එහිදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇත.
එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතු වලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.
අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී ඇත.
