By unusuma.lk on [last-modified] (LK time)
මේ වනවිට ඇප මත නිදහස්ව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීම නිසා දිවියන පුරා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයකට සදාකාලික හා තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ බවට සෞඛ්‍ය අංශ මගින් අනාවරණය වී ඇති පසුභිමක ඇස් පෙනීම අහිමිව සිටිනා ගම්පහ ප්‍රදේශයේ රෝගියෙක් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමුකළ ලිපියක් පිළිබඳ සමාජය තුල කතාබහක් ඇතිව තිබේ.
අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව 13/11/2025 දිනැතිව යොමුකර ඇති එම ලිපියෙන් ගම්පහ ප්‍රදේශයේ පදිංචි ලෙනින් නිරෝෂන් මහතා වෙත දන්වා ඇත්තේ ඉහත සඳහන් අක්ෂි දියරය භාවිතා කිරීම ඔහුගේ දෘෂ්ටිආබාධයට හේතුවක් නොවන බවයි.
මේ සම්බන්ධව අදාළ රෝගියා හා ඔහුගේ ඥාතීන් දැඩි ලෙස විමතියට පත්වන අතර කොළඹ ජාතික අක්‍ෂි රෝහලේදී අදාළ ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව තමාගේ ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ බවට වෛද්‍ය වාර්තා ඇති බවත් ඉන් අනතුරුව තම පුද්ගලික වියදමින් ඉන්දියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙවැනි ලිපියක් නිකුත් වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවද ඥාතීහු පවසති.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ මෙම අක්ෂ දියරය ගෙනෙන ලද සමාගමට එරෙහිව මේ දක්වා අධිකරණය හමුවේ නිත්‍යානුකූලව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී නැති බවයි.
මේ බව අවසාන වරට නිකුත් වූ විගණන වාර්තාවෙන්ද තහවුරු වී ඇති අතර මෙම සමාගමට එරෙහිව අධිකරණය කටයුතු ක්‍රියාත්මක කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන මැලිකම ප්‍රශ්න සහගත බවද සඳහන් කළේය.
වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඇස් ආබාධ තත්ත්වයට පත් වූ අනෙකුත් රෝගීන් වෙනුවෙන් තමන් අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේවෙතත් ඇස් ආබාධ තත්ත්වයට පත් රෝගීන් 17 දෙනෙකුට පමණක් වර්තමාන රජය වන්දි ප්‍රධානය කර ඇති අතර ඉතිරි රෝගීන් දිගින් දිගටම තමන්ට අසාධාරණයක් සිදුවූ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.





