මේ වනවිට මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් අතවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වා ගෙන යාමේදී මතු වී ඇති තත්වයන් පිළිබඳව අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (15) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.
මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී සමාලෝචනය කෙරිණි.
මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ලෝකයේ සියලු රටවලට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් ඊට මුහුණ දීමේදී ඩිජිටල් කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරී සිදු කිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීමට හැකි වන බවද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන් පවතින තත්වය හමුවේ පවත්වාගෙන යා යුතු අකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම වෙනුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතවරයා විසින් උපදෙස් ලබාදී ඇත.
මෙහිදී සෞඛ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ අවධානය යොමුව ඇති අතර ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වා ගෙන යාමේ හැකියාවන් පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
