රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කිරීමේ සිදුවීමක් සම්බන්ධව උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇත.
වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා (23) වන දින වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
අදාල නිලධාරියාගේ ක්‍රියා කලාපයෙන් ශ්‍රී ලංකා පොලීසිය හා සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින්, එම ක්‍රියාව අනෙකුත් නිලධාරීන්ටද වැරදි පුර්වාදර්ශයක් බව පොලීසිය සඳහන් කරයි.
එනිසා තවදුරටත් එම නිලධාරියා සේවයේ තබා ගැනීමෙන් පොලිස් සේවයේ කීර්තිනාමයට හා අභිමානයට හානියක් සහ කැළලක් වන බැවින් ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කරයි.
මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනූ විනයගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යාම ශ්‍රී ලංකා පොලීසියේ අරමුණ වන අතර නීතිය හා විනය සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන බව පොලීසිය සඳහන් කරයි.

