ඉන්ධන පිරිමැසීමට විශේෂ වැඩපිළිවෙළක්

ඉන්ධන තොග පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එය දත්තමත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරිම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව සමඟ හමුවකට අද (17) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ඊයේ (16) අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය සහ පෞද්ගලික සැපයුම් දාම අඛණ්ඩව පවත්වා ගනිමින් ජනතාවට හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීම සඳහා මෙම කමිටුව පත් කෙරිණි.

ඉන්ධන මිල ඉහළ යාම සමඟ භාණ්ඩ මිලද ඉහළ යාම සලකා බලා ගොවි ජනතාවටද බලපෑමක් නොවන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සාධාරණ මිලට ජනතාවට ලබාදීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සහ මිල පාලනය සඳහා ගත හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අතර සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ මෙන්ම තොග ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා පිළිබද තොරතුරු රැස් කරමින් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතාව සොයා බලා මින් පෙර භාවිත කළ QR ක්‍රමය පවත්වාගෙන යාම පිළිබඳවත්, හෝටල් සඳහා අවශ්‍ය ගෑස් සහ ඉන්ධන පහසුකම් සලසාදීමේ ක්‍රමවේදයක් සකස් කරමින් තිබෙන බවත් මෙහිදී සඳහන් විය.

බහුදින ධීවර යාත්‍රා සහ වරාය කටයුතු සඳහා ඉන්ධන ලබාදීම මේ වනවිට සිදුවන අතර එම කෝටා ප්‍රමාණයන්හි ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු විය.

ඊයේ දින ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කර්මාන්තකරුවන් පිළිබඳ තොරතුරු රැස්කර ලියාපදිංචි කිරීමේ කටයුතු අරම්භ කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සැපයීම පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments