ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගී වීමට හැකිවන පරිදි තමන් වෙත විරෝධතා නොමැති බව සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා නම් කර ඇත.
ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මාර්ගයෙන් ගොනු කළ මෙම පැමිණිල්ල අද (02) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
අදාළ පැමිණිල්ල කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් මස (09) වනදා කැඳවීමට නියම කළ අධිකරණය වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

