ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය (02) නියෝග කළේය.
එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ,
“ස්වාමිනි, මේ සැකකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සෙවනපිටිය ප්‍රදේශයේ වධකඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා.
එම ස්ථානයට සිවිල් පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයින් මෙන්ම පොලිස් නිලධාරීන් වගේ විවිධ පුද්ගලයින් ගෙන ගොස් දරුණු වධහිංසාවට ලක්කිරීම්, කප්පම්ගැනීම් මෙන්ම මරා දැමීම්ද සිදුකර තිබෙනවා.
මේ ප්‍රශ්නගත මහාචාර්යවරයාත් පැහැරගෙන ගොස් රඳවාගෙන ඉඳලා ඝාතනය කරලා පුළුස්සලා තියෙන්නේ මේ ස්ථානයේදීයි. සාක්ෂිකරුවන් දෙදෙනෙක් ප්‍රකාශ ලබාදී තිබෙනවා එම මහාචාර්යවරයා මේ කඳවුරේ රඳවාගෙන ඉදලා පසුව ඝාතනය කළා කියලා.
ඇතැම් ඝාතන වලින් පසු මෘතශරීර එම කඳවුරේම වළදමා ඇති බවටයි දැනට සාක්ෂි අනාවරණය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කැඳවපු වාර්තාවක දැක්වෙනවා මේ සැකකරුට මෙවැනි කඳවුරක් පවත්වාගෙන යාමට කිසිදු නෛතික බලයක් ලබාදී නැහැ කියලා.
ඒ වගේම පැවති දේශපාලන වාතාවරණය මත එකල ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම සැකකරුගේ පාර්ශ්වයට නිකුත් කර තිබූ T56 ගිනිඅවි 352ක්, 9mm වර්ගයේ ගිනිඅවි 36ක් සයි මයික්‍රෝ වර්ගයේ එක් ගිනිඅවියක් නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා.
ඒ අනුව ස්වාමිනි මෙම සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම යටතේ චෝදනා ගොනුකරනවා.”

