ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (15) දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සිදු කළේය.
ශ්‍රී ලාංකික PayPal ගිණුම් “මුදල් යැවීමට පමණක්” (Send Only) සීමා වී තිබූ අතර එමඟින් පරිශීලකයින්ට විදේශයන්ට ගෙවීම් කිරීමට හැකි වුවද ජාත්‍යන්තර සේවාදායකයින්ගෙන් මුදල් මෙරටට ලබා ගැනීමට මෙතෙක් කාලයක් නොහැකි විය.
ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම සේවාව පුළුල් කිරීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ඉපයීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකි වන අතර එමඟින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යයි.
වසර 12කට අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡා, ප්‍රමාදයන් සහ අඛණ්ඩ උත්සාහයන් රැසකින් අනතුරුව ළඟා කර ගත් මෙම ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය, නිදහස් වෘත්තික (Freelancer) ප්‍රජාව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආරම්භක ව්‍යාපාර (Startups), සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, අපනයනකරුවන් සහ ඊ-වාණිජ්‍ය (e-commerce) ආශ්‍රිත කර්මාන්ත ආදිය සඳහා සුවිශේෂී පරිවර්තනීය පියවරක් ලෙස හැඳින්වේ.
මෙම සහයෝගීතාව අනුව, ආරම්භයක් ලෙස ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු මගින් “PayPal” සේවා මෙරට තුළ ක්‍රියාත්මක වනු ඇති අතර ඉදිරි කාලයේදී අනෙකුත් බැංකු මේ සමඟ එක්වනු ඇත.
