රජයේ රෝහල් පද්ධතියේ මෙතෙක් පැවති ගැබ්ගෙල පිළිකා සොයා ගැනීමට භාවිත කරන කොල්පොස්කොපි (Colposcopy) යන්ත්‍ර 15 ක ප්‍රමාණය, මේ වසරේ අලුතින් එක් කෙරෙන යන්ත්‍ර 18 ත් සමඟ 33 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
රුපියල් මිලියන 114 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් සිදුකරන මෙම ව්‍යාපෘතිය හරහා මෙරට කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකා කලින් හඳුනාගෙන, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීම අමාත්‍යාංශයේ මූලික අරමුණයි.
ඒ අනුව, එක් යන්ත්‍රයක් රුපියල් ලක්ෂ 60 බැගින් වන අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් මේ වනවිටත් අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොණරාගල, පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කර අවසන්ය.
එළඹෙන ජුනි මාසය වන විට තවත් යන්ත්‍ර 06ක් අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව යන ශික්ෂණ හා දිස්ත්‍රික් මහ රෝහල්වල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර කලින් පැවති පැරණිම යන්ත්‍ර 5ක් වෙනුවට නව යන්ත්‍ර 5ක් ප්‍රතිස්ථාපනය කිරීමට ද කටයුතු කර ඇත.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්තවලට අනුව මෙරටින් වසරකට නව ගැබ්ගෙල පිළිකා රෝගීන් 1200ක් පමණ හඳුනාගන්නා අතර, නිසි ප්‍රතිකාර නොලැබීමෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 180කි.
මානව පැපිලෝමා වයිරසය (HPV) මඟින් වැළඳෙන මෙම පිළිකාව, පූර්ව පිළිකා අවධියේදීම කොල්පොස්කොප් වැනි විශේෂිත විශාලන උපකරණ මඟින් අසාමාන්‍ය සෛල හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිය.
