ඉබිමස් එක්ක ඇල්ලූ ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපුවාට මොකද වුණේ.?

ඇප මත මුදා හැර සිටින අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපුවා සමග සොයා ගනු ලැබූ ගෝන මස්, කබල්ලෑ මස්, මී මින්නා මස්, ඉබි මස් සහ ඉබි බිත්තර 14ක්, ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාව සම්බන්ධයෙන් විශේෂඥ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයාට (26) දින නියෝග කළාය.

අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපුවා සහ වන සතුන්ගේ මස් වර්ග අත්අඩංගුවට ගැනීමේ වැටලීම වීඩියෝ කළ වනජීවි නිලධාරීන්ට අයත් ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා රස පරික්ෂක වාර්තාවක් කැඳවන ලෙසටද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය රිටිගල වනජීවි කාර්යාලයේ වනජීවි අඩවි ආරක්ෂක ඩී. රාමසිංහට නියෝග කර ඇත.

අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපුගේ ජංගම දුරකථනයට ලැබී ඇති සහ ඉන් ලබා ගෙන ඇති ඇමතුම් සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අදාළ දුරකථන සමාගම්වලට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වනජීවි අඩවි ආරක්ෂක ඩී. රාමසිංහට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මැරීමට තහනම් දුර්ලභ විවිධ වන සතුන්ගේ මස් වර්ග සහ ජීවග්‍රහයෙන් අල්ලා ගනු ලැබූ ගල් ඉබ්බන් සහ ඉබි බිත්තර තමන් සතුව තබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරු පරස්පර ප්‍රකාශ සිදු කර ඇති බව නඩුකරය යළි කැදවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අඩවි ආරක්ෂකවරයා සඳහන් කරයි.

තවද දැනුවත්වම තමන් සන්තකයේ තිබු මස් වෙනත් පාර්ශවයක් තමන්ට දුන් ඒවා බව හැඟවීමට එම සැකකරු උත්සහ දරන බවද අඩවි ආරක්ෂකවරයා චෝදනා කළේය.

අනතුරුව මෙම නඩුව ලබන අගෝස්තු මස (07) වනදා යළි කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest