ලක්ෂ 730ක මුදලකින් ඉඩම් මිලදී ගත් යෝෂිතගේ පැටිකිරිය හෙළිවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ පුහුණුව සඳහා පවුම් 4,000ක අධික මුදලක් සහ දීමනාවක් ලබාදෙන ලෙස එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට ඉල්ලීමක් කර තිබු බව අධිකරණයේදී අනාවරණ විය.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාල සීමාව තුළ වැටුප් වශයෙන් රුපියල් 5,150,626ක මුදලක් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ සේවය කළ කපිතාන් නුවන් තුෂාර අරන්දර කොළඹ මහාධිකරණ හමුවේ සඳහන් කළේය.

අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර ඉඩම් කට්ටි පහක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශ වලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ මෙම නඩුව කැඳවයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියාගේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ,

“ස්වාමිනී., යෝෂිත කනිෂ්ක රාජපක්ෂ 2006 වසරේ දෙසැම්බර් (14) දින සිට 2016 වසරේ පෙබරවාරි (28) දක්වා නාවික හමුදාවේ ලුතිනන්වරයෙක් ලෙස සේවය කළා. 2016 වසරේ පෙබරවාරි (28) වැනිදා නාවික හමුදාවෙන් ඔහුගේ සේවය අත්හිටුවනවා.

ඔහුට මාසික වැටුප ලෙස 16,500ක මුදලක් ලැබී තිබෙනවා. අදාල වැටුපෙන් රුපියල් 110ක මුදලක් කැපී රුපියල් 16,390ක මුදලක් වැටුප් ලෙස ගෙවා තිබෙනවා. මෙම වැටුප ඔහුට දීමනා ද ඇතුලත්ව ලද මාසික වැටුපයි.”

මෙහිදී යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ තරුණ නිලධාරීන්ගේ පුහුණුවට යෑම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා සිටිමින් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇති බව අනාවරණය කරයි.

“ස්වාමීනී., හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ 2014 වසරේ මැයි (18) වැනිදා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලේඛනයක් නිකුත් කරමින් යෝෂිත කනිෂ්ක රාජපක්ෂට එක්සත් රාජධානියේ පැවැත්වෙන නාවික හමුදා තරුණ නිලධාරීන්ගේ පුහුණුවට යෑමට ආහාර හා නවාතැන් පහසුකම් සඳහා පවුම් 4174.80 මුදලක් හා පාඨමාලා ගාස්තුව ලෙස රුපියල් 20,362ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.”

එවක විනිමය අනුපාත අනුව පවුම් 4174.80 මුදල දළ වශයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න වේ.

“ස්වාමීනී., යෝෂිත කනිෂ්ක රාජපක්ෂට 2006.02.14 දින සිට 2016.02.28 දක්වා නාවික හමුදාවෙන් වැටුප් හා දීමනා ලබාදී තිබෙනවා. නාවික හමුදා නිලධාරීන්ගේ දළ වැටුප සැකසෙන්නේ, මුලික වැටුප හා දීමනා යන දෙකම ඇතුලත්ව.

ඒ අනුව යෝෂිත කනිෂ්ක රාජපක්ෂට මාසික වැටුප ලෙස රුපියල් 16,390ක මුදලක් ගෙවා තිබෙනවා. ඔහු සේවය කළ 2006 වසරේ සිට 2016 දක්වා කාලයට ඔහුට නාවික හමුදාවෙන් වැටුප් හා දීමනා ලෙස රුපියල් 5,150,626 මුදලක් ගෙවා තිබෙනවා.”

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවෙන් එහි ලිපිකරු සෙනරත් බණ්ඩාර ඒකනායක සාක්ෂි දෙමින් සඳහන් කළේ,

“ඩේසි ෆොරස්ට් නම් තැනැත්තියකගේ බව කියන දේපල සම්බන්ධව නුගේගොඩ දිසා අධිකරණයේ නඩුවක් විභාග වී තිබෙනවා. එම නඩුව සම්බන්ධව 2017.03.15 වැනිදා එවකට නුගේගොඩ දිසා විනිසුරු ලෙස කටයුතු කළ සහන් මාපා විනිසුරුවරයා නියෝගයක් ලබාදි තිබෙනවා.

එම නඩුවේ නියෝගයෙන්, 3 වෙනි විත්තිකාරිය ඩේසි ෆොරස්ට්ගේ බූදලය කළමනාකරණයට නම් කර තිබෙනවා. ඒ වගේම ඩේසී ෆොරස්ට්, ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් නම් රෝගී තත්ත්වයගෙන් පසුවීම හේතුවෙන් ඇයගේ ආරක්ෂකයා ලෙස දෙවන විත්තිකාරිය නම් කර තිබෙන බවද අදාල නියෝගයේ සඳහන් වෙනවා.

නමුත් අදාල නියෝගයේ ඩේසි ෆොරස්ට්ගේ රෝගී තත්ත්වය පිළිබඳ අධිකරණය සෑහිමකට පත්වන බවට සටහනක් නෑ. එම නඩුවේ තුන්වන විත්තිකාරියව ඩේසි ෆොරස්ට්ගේ බූදලය කළමනාකරණයට නම් කර තිබුණද එම බූදලයේ විස්තරයක් නඩු වාර්තාවේ ඇතුලත් වී නෑ. ඩේසි ෆොරස්ට්ගේ නිශ්චල, චංචල දේපල හෝ මුදල් සම්බන්ධව කිසිඳු ලැයිස්තුවක් නඩු වාර්තාවේ හෝ නියෝගයේ නෑ.”

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් (30) වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

0 Comments
Most Voted
Newest Oldest