තෝරියම් අයන් සමාගම මඟින් ගල්අඟුරු ආනයනයේදී ගල්අඟුරු මෙට්රික් ටොන් 29,896කට වැඩි ප්රමාණයක් මෙරටට නොලැබී යෑමෙන් අතිවිශාල පාඩුවක් සිදුව ඇති බව ගල් අඟුරු ආනයනයේදී පාඩු සිදුව ඇතිදැයි සොයන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේදී අනාවරණය වී ඇත.
එයට වගකිව යුත්තේ එවක හිටපු විදුලිබල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක සහ එම අමාත්යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු බවට ලංකා නැව් සංස්ථාවේ හිටපු සභාපති, නීතිඥ කාංචන රත්වත්ත (15) දින එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සඳහන් කර ඇත.
ගල්අඟුරු ගොඩබෑමේදී පැවැති අයහපත් පාරිසරික තත්ත්වයන් සහ ඒවාට ගිනි ඇවිළීමෙන් විය හැකිව තිබූ අනතුර හමුවේ ගත යුතු ඉදිරි පියවර පිළිබඳ තමන් ඇතුළු පිරිස හිටපු ඇමති පාඨලී චම්පික රණවක සභාපතිත්වය දැරූ කමිටුවෙන් විමසා සිටි බවද ඔහු සඳහන් කර ඇත.
එවිට එම ගනුදෙනුව ලංකා ගල්අඟුරු සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය විසඳා ගත යුත්තක් බවට ඇමති පාඨලී චම්පික රණවක පෙන්වා දුන් බව සාක්ෂිකරු විස්තර කර ඇත.
අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුත්තක් වූ එම කරුණට අදාළ වගකීම පැවරෙන ඇමතිවරයා සහ ලේකම්වරයා එසේ වගකීම පැහැර හැරීම මෙම පාඩුවට ප්රධාන හේතුවක් බවත් එහි වගකීම තමන්ද භාර ගන්නා නමුත් ඇමතිවරයාගේ පෙන්වා දීමට අනුව තමන් ඇතුළු පිරිස කටයුතු කළ බවද සාක්ෂිකරු සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් අනතුරුව හිටපු ඇමති පාඨලී චම්පික රණවක, ඔහුගේ හිතමිත්ර, උසස් පොලිස් නිලධාරියකුගේ සහය ඇතිව එවකට තමන් ඇතුළු පිරිස 2015 වර්ෂයේදී නීතිය හමුවට ගෙන යෑමට කුමන්ත්රණය කළ බවත්, ඒ අනුව වසර ගණනාවක් එම නීතිමය කරුණු වලට මුහුණ දීමට තමන්ටද සිදුවූ බවද සාක්ෂිකරු සඳහන් කරයි.
හිටපු ඇමති පාඨලී චම්පික රණවක යකඩ මිනිසකු වශයෙන් ප්රතිරූපයක් සමාජයේ ගොඩ නැඟීමට කටයුතු කළද සැබැවින්ම කළමනාකරණ දක්ෂතාවක් නොවුණු ඔහු බියගුල්ලකු බවද එම සාක්ෂිකරු සඳහන් කරයි.
