එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන, ඔවුන් සිය පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එලෙස යොදාගැනීම මගින් දූෂණයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති අතර මෙම විමර්ශනයට අදාළව වැඩිදුර ප්‍රකාශ ලබාගැනීම සඳහා (21) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අකිල විරාජ්ට දන්වා තිබුණද ඔහු කොමිසම හමුවට පැමිණ නැත.
කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ නිවසට අල්ලස් කොමිසමෙන් කිසිදු කැඳවීමේ ලිපියක් හෝ දුරකථන ඇමතුමක් ලැබී නැති බව අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.
අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලද ඕනෑම විටක එහි යාමට තමා සූදානම් බවත් පිරිසිදු දේශපාලනයක නිරතවී රටට සේවයක් කළ තමාට නීතියෙන් සැඟවීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

