මෙරට ප්‍රසිද්ධ ගීත දෙකක් වන හමාර බණවර සහ සරසවි ප්‍රේමය යන ගීත පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව විකෘති කිරීම, වෙනස් කිරීම හා වෙනත් නිර්මාණ සඳහා යොදාගැනීම වළක්වමින් සංගීතවේදී රවි රොයිස්ටර්ට එරෙහිව වාණිජ මහාධිකරණය මගින් අද (23) දින වාරණ ආඥාවන් නිකුත් කර ඇත.
හමාර බණවර සහ සරසවි ප්‍රේමය යන ගීතයන්හි ගී පද රචිකා ඉරේෂා හේමමාලි විසින් රවි රොයිස්ටර්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
එම වාරණ ආඥාවට අනුව, පැමිණිලිකාරියගේ පැහැදිලි ලිඛිත අනුමැතියකින් තොරව ගීතවල වචන හෝ පද ඛණ්ඩ වෙනස් කිරීම, නැවත සංස්කරණය, විපර්යාස, අනුවර්තනය, පරිවර්තනය හෝ විකෘති කිරීම, පදමාලාවේ වෙනස්කම් නිර්මාණය කිරීම, නැවත නිර්මාණය කිරීම, නැවත ව්‍යුහගත කිරීම හෝ නැවත සංගීත සංයෝජනය කිරීම යන ක්‍රියාවන් සිදු කිරීමෙන් විත්තිකරු වළක්වාලනු ලැබුවේය.
පද ඛණ්ඩ හෝ සංගීත සංයෝජනයන් ආදේශ කිරීම, ඉවත් කිරීම හෝ එකතු කිරීම මගින් ව්‍යුත්පන්න නිර්මාණ (derivative works), රීමේක්ස් (remixes), මෙඩ්ලි (medleys), මැෂප් (mashups) හෝ කවර් ගීත (cover songs) නිෂ්පාදනය කිරීම, පටිගත කිරීම, ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදාහැරීම පැමිණිලිකාරියගේ පූර්ව ලිඛිත පැහැදිලි අනුමැතියකින් තොරව සිදුකිරීම වළක්වාලනු ලැබුවේය.
විත්තිකරු විසින් මෙම ගීත සම්බන්ධයෙන් ගී පද රචිකාවට හිමිවිය යුතු කතෘ භාගයන් ගෙවීම පැහැර හැර ඇති බවත් විත්තිකරු එකී ගීතයන් භාවිත කරමින් තනිවම අධික ආදායමක් උපයමින් සිටින බව පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.
අනතුරුව ඉදිරි කරුණු සලකා බැලීම සඳහා මෙම නඩුව නැවත අගෝස්තු මස (06) වන දින කැඳවීමට අධිකරණය නියම කළේය.

