දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිතාරක්ෂණය පිළිබඳ පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් (24) වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ඒ මෙම පූර්වගාමී පියවර සම්බන්ධයෙන් පවත්වන ලද ඉහළ පෙළේ සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙසිනි.
දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කරමින් දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින්, සෝදිසියෙන් යුතු ජාතික රාමුවක් ස්ථාපනය කිරීම සඳහා අන්තර් – ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු විය.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හේන්නායක යන අමාත්‍යවරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි.
සභාවාරය ආරම්භ කරමින් අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, පූර්ව සාකච්ඡාවේ ප්‍රතිඵල සහ මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළේය.
ඉහළ යන ජලජ අනතුරු සංඛ්‍යාව හුදෙක් සාමාජීය ගැටලුවක් පමණක් නොව, මහජන ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බලපාන සුවිශේෂී කරුණක් බව එතුමන් පෙන්වා දුන්නේය.
විධිමත් හා සම්බන්ධීකරණය කරන ලද ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක පවතින අඩුව රටට දැඩි අවදානමක් ගෙන දෙන බව සඳහන් කළ එතුමන්, දියේ ගිලීම් වැළැක්වීම සඳහා සඵලදායී, තිරසාර සහ බහු – ක්ෂේත්‍ර ප්‍රවේශයක් වහාම ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළේය.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, කුඩා අවදියේ සිටම සිසුන් තුළ දැනුවත්භාවය සහ සූදානම ඇති කිරීම සඳහා ජාතික පාසල් විෂය මාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය ඇතුළත් කිරීමට යෝජනා කළේය.
අධ්‍යාපන පද්ධතිය තුළට ජල ආරක්‍ෂණ දැනුම අනුගත කිරීම මගින්, ගංගා, ඇළ දොළ සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ භාවිතයේදී වගකීම් සහගත ලෙස හැසිරීමේ සංස්කෘතියක් මෙන්ම වැළැක්වීමේ ස්වභාවයක් අනාගත පරපුර තුළ තහවුරු වන බව එතුමන් සඳහන් කළේය.
දියේ ගිලීම් වැළැක්වීමේ ජාතික වැඩපිළිවෙලට සහාය වීම සඳහා තරුණ ප්‍රජාවට ඉටුකළ හැකි වැදගත් කාර්යභාරය යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් අවධාරණය කරන ලදි.
ඒ අනුව, වෘත්තීය ජීවිතාරක්ෂක සේවාවන් සඳහා අතිරේක ශක්තියක් විය හැකි පුහුණු ස්වේච්ඡා බලකායක් ගොඩනැගීම සඳහා ක්‍රමවත් පුහුණු වැඩසටහන් ඔස්සේ තරුණ තරුණියන් සක්‍රියව දායක කර ගැනීමට එතුමන් යෝජනා කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක අංශ නියෝජිතයන් සහ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව සිටි අතර, යෝජිත ජාතික යාන්ත්‍රණය තුළ තමන්ට හිමි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින් නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කළහ.
දීර්ඝ ලෙස සිදු කළ සාකච්ඡා වලින් අනතුරුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානත්වයෙන් සහ සියලුම අදාළ පාර්ශ්වකාර ආයතනවල නියෝජනය සහිතව බහු -පාර්ශ්වික කමිටුවක් පිහිටු වීමට තීරණය විය.
ජාතික මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික, සඵලදායී සහ තිරසාර ‘දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිතාරක්ෂණය පිළිබඳ ජාතික යාන්ත්‍රණයක්’ සකස් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පැවරී ඇත.

