මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ නඩුකරය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා හමුවේ (27) දින යළි කැඳවයි.
මෙම ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් මියයෑම, තුවාල ලැබීම සහ බන්ධනාගාර දේපළවලට බරපතල හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන් හතර දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව සුපුන් මධුසංක හෙවත් ‘හීනටියන සුපුන්’, ෂේන් ඩිලාන් සිල්වා, අෂාන් ප්‍රනාන්දු හෙවත් ‘කලු මල්ලි’, සමීර සම්පත් හෙවත් ‘බබා’ යන රැඳවියන් සිව් දෙනා සැකකරුවන් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන සියලු විමර්ශනවල ප්‍රගතිය මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම අපරාධයට අදාළව සැකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කළ රැඳවියන් හතර දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස එම රැඳවියන් රඳවා සිටින බන්ධනාගාරවල අධිකාරීවරුන්ට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
තවද, ගැටුමට අදාළ බවට විමර්ශන වලදී අනාවරණය වන අනෙකුත් සියලු සැකකරුවන්ද හඳුනාගෙන ඔවුන් සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට නියෝග කළාය.
මේ අතර විමර්ශන නිලධාරින් දැනුම්දී ඇත්තේ, බන්ධනාගාර ගැටුම ඇතිවූ දින විශේෂ කාර්ය බළකා නිලධාරින් ගිනිඅවි 301ක් මීගමුව බන්ධනාගාරයට රැගෙනවිත් ඇති බවත් බන්ධනාගාර නිලධාරින් සතුව ගිනිඅවි 70ක් තිබූ බවයි.
තවද විමර්ශන නිලධාරීන් පවසා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින්, රැඳවියන්, විශේෂ කාර්ය බළකා නිලධාරින්, පොලිස් නිලධාරින් සිවිල් වැසියන් ඇතුළුව පුද්ගලයින් 1395 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

