කම්කරු සහ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 සහ 2012 වසර දෙකක කෙටි කාලය තුළ, සිය නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් පැහැදිලි කළ නොහැකි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගැනීම සම්බන්ධයෙන් මර්වින් සිල්වාට එරෙහිව නඩු පවරා ඇත.
අදාළ වසර දෙකක කාලය තුළ මර්වින් සිල්වා විසින් අසාමාන්‍ය ලෙස වාහන 7ක් මිලදී ගෙන ඇති අතර Porsche, Range Rover Sport, Mercedes Benz, Land Rover සහ Hyundai වැනි ඉහළ වටිනාකමකින් යුත් රථ වාහන ඒ අතර පවතින බව විමර්ශන වලදී හෙළිවී ඇත.
ප්‍රසිද්ධ නිළියක් වන රිතූ ආකර්ශා වෙනුවෙන් රුපියල් 240,000ක මුදලක් ලබාදීම සහ සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 13ක වාරික ගෙවමින් රක්ෂණ ඔප්පු 6ක් පවත්වාගෙන යාම පිළිබඳවද අධිචෝදනා පත්‍රයේ කරුණු ඇතුළත් වේ.
තවද සිය බිරිඳ වන හිටපු මන්ත්‍රීනී මේරි ලුසීඩා සිල්වා, පුත් මාලක සිල්වා, දියණිය සහ බෑණනුවන්ගේ නමින් විවිධ මූල්‍ය ආයතනවල රුපියල් මිලියන ගණනින් තැන්පතු පවත්වාගෙන ගොස් ඇති බවද හෙළිවී ඇත.
පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ ස්ථාවර තැන්පතු 10ක පමණක් රුපියල් ලක්ෂ 1823කට වැඩි මුදලක් තැන්පත් කර ඇති බවත්, (ඉන් එක් තැන්පතුවක් පමණක් රුපියල් කෝටි 6කි.) එම බැංකුවේම රුපියල් ලක්ෂ 33 ඉක්මවූ තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 5ක් පවත්වාගෙන ගොස් ඇති බව හෙළිවී ඇත.
වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ ඔහුගේ පුත් මාලක සිල්වාගේ නමින් රුපියල් මිලියන 15 සහ 35 බැගින් වූ ගිණුම් දෙකක්ද, දියණිය සහ බෑනනුවන් නමින් රුපියල් මිලියන 15 බැගින් වූ තැන්පතුද, මර්වින් සිල්වාගේ නමින් රුපියල් මිලියන 14ක තැන්පතුවක්ද පවතින බවත්, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 32.5ක සහ DFCC වර්ධන බැංකුවේ රුපියල් මිලියන 6.8ක තැන්පතු ද පවතින බවද එහිදී හෙළිවී ඇත.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ ලබන අගෝස්තු මස (20) වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

