හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඝාතනය කිරීමේ අරමුණින් LTTE මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 17කට පසු කොළඹ මහාධිකරණය ඇප නියම කර ඇත.
ඇප කොන්දේසි ලෙස රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් නියම කර තිබූ අතර සතියේ දෙවැනි සහ සිව්වැනි ඉරිදා දිනවල ත්‍රස්ත මර්දන කොට්ඨාසයට වාර්තා කිරීම සහ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට ලබාදීමට නියම කළේය.
කෙසේ වෙතත්, අධිකරණය නියම කළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධි සී. රාගල නියෝග කළේය.
වසර 17ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වී සිටීම සැලකිල්ලට ගනිමින් විත්තිකරුවන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම ඇප නියෝගය ලබාදී ඇත.
මෙලෙස ඇප හිමිවූයේ හිටපු LTTE සාමාජික බව කියන ශම්මුගලිංගම් සූරියකුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන විත්තිකරුවන් දෙදෙනාට වේ.

