අල්ලස් කොමිසමේ සියලු කොමසාරිස්වරුන් අත්සන් නොකිරීමේ තාක්ෂණික දෝෂයක් මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කළ අල්ලස් නඩුවක් නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
සතොස ආයතනයේ සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර දුන් නියෝගය බලරහිත කිරීමට අභියාචනාධිකරණය (04) දින පියවර ගත්තේය.
එම චෝදනාවලට අදාළව හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිසට එරෙහිව පවරා ඇති සියලුම නඩු නැවත මුල සිට විභාග කරන ලෙස පී. කුමාරරත්නම්, දමිත් තොටවත්ත, කේ.එම්.එස්. දිසානායක, කේ.පී. ප්‍රනාන්දු සහ අන්නලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.
මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේ, 1994 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 2 (8) වගන්තියට අනුව කොමිසමේ බලතල ක්‍රියාත්මක කිරීමට කොමසාරිස්වරුන් තිදෙනාම එකට සිටීම අනිවාර්ය නොවන බවයි.
2010 – 2014 කාලයේ සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතුවල යොදවමින්, රජයේ මුදලින් ඔවුන්ට වැටුප් හා අතිකාල දීමනා ගෙවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහොමඩ් සකීර්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ නඩු 07ක් ගොනුකර තිබුණේය.
එහෙත්, මෙම විමර්ශන ආරම්භ කිරීම සහ නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැති බවට විත්තියේ නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණය විසින් 2023 මැයි (19) වනදා මොවුන් නිදහස් කිරීමට තීන්දු කළේය.

