2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) දින සිට ආරම්භ කිරීමට නියමිතය.
අද (10) සිට සැප්තැම්බර් (05) වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක්, පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් පැයකට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසත් පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ගේ අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්ය බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.
ප්‍රවේශ පත්‍රය අස්ථානගත වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් එය නැවත භාගත කර ගැනීමේ හැකියාව පවතින බවත් අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය පමණක් භාවිත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පත සඳහා භාවිත කරන ඡායාරූප දෙකක් පාසල් අයදුම්කරුවන් විදුහල්පති ලවා ද, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී ලවාද සහතික කරවාගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
