මේ සමාජය බහුතරයක් ඉන්නේ අපරාධකරුවන් එක්ක.. යුක්තිය ඉටු කිරීම අපහසුයි

සමාජය අපරාධකරුවන්ගේ පාර්ශවය ගන්නා තාක් මෙරට අපරාධ පසිඳලීමේ ක්‍රියාවලිය අභියෝගයක් බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

අපරාධයක වින්දිතයින්ට නිසි රැකවරණය ලැබෙන පරිදි නීති ශක්තිමත් නොකර යුක්තිය ඉටු කිරීම අපහසු බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල පදනම් කරගනිමින් නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු සභාවක් හමුවේ නඩු පැවරූ බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

තමන් විසින් හිටපු පොලිස්පතිවරයාට එරෙහි පැමිණිල්ල මෙහෙයවූ බවත් 2019 අප්‍රේල් (09) වන දින රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් ලබා දුන් විශේෂ තොරතුර පාර්ශව හතරකට යොමු කරමින් හිටපු පොලිස්පතිවරයා තබා ඇත්තේ ‘FNA’ (සුදුසු කටයුතු පිණිස) යන සටහන පමණක් බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

නීති විරෝධී ලෙස රාජකාරිය පැහැර හැරීමට අනුබල දීමේ චෝදනා මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් චෝදනා 855ක් යටතේ මරණ දඬුවම ඉල්ලා සිටි බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

රාජ්‍ය නිලධාරීන්ට යම් නීති විරෝධී නියෝගයක් ලැබෙන්නේ නම්, එහි සම්පූර්ණ වගකීම තමන් වෙත පැවරෙන බැවින්, එම උපදෙස් ලබා දුන්නේ කවුරුන්ද යන්න ලේඛනගත කිරීමට කිසිදු ලෙසකින් පැකිලිය යුතු නැති බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

දේශපාලඥයන් කරනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව FCIDය මගින් කෙරෙන පරීක්ෂණ වලදී පවා බොහෝ තීරණ ගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරීන් බවත්, දේශපාලනඥයන් ලේඛනවල සටහන් නොතැබීමට ප්‍රවේශම් වී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

මේ රටේ අපරාධ පසිඳලීමේ ක්‍රියාවලිය පහසුද.? එය අතිශයම අභියෝගාත්මකයි. ඇයි අභියෝගාත්මක වෙලා තියෙන්නේ. මේ සමාජය වින්දිතයොත් එක්ක නෑ. මේ සමාජය ඉන්නේ බහුතරයක් ඉන්නේ අපරාධකරුවන් එක්ක.”

අපි නීතිය ශක්තිමත් කරනවා සේම, මේ අපරාධ පසිඳලීමේ ක්‍රියාවලිය කොන්දේසි විරහිතව අපි සවිමත් කරන්න අවශ්‍යයි. කාගෙවත් ධන බලයට, වෙන බලපුරුවන් කාරකමට නෙමෙයි නීතිය කටයුතු කරන්න ඕන. නීතිය රාමුව තුල තියෙන ඒ සිද්ධාන්තයට පමණයි කටයුතු කරන්න ඕන.”

විශේෂ අවධානය යොමු කළ යුතු නැති, පහළ නිලධාරීන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක විය හැකි ලිපි සඳහා පමණක් ‘FNA’ ලෙස සටහන් කරන ලෙස අධිකරණය මගපෙන්වීමක් කර තියෙනවා. එසේ තොරතුරක් පහළ නිලධාරීන්ට යොමු කර නොසලකා හැරීමෙන් යම් අපරාධයක් සිදු වුවහොත්, එහි ප්‍රථම වගකීම එකී ඉහළ නිලධාරියා භාරගත යුතුයි. රාජකාරි මට්ටමින් ‘FNA’ ලෙස යැවීමේ පරිපාටිය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු කාලය පැමිණ තියෙනවා.”

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest