බස් රථ නැවතුම් ස්ථානයට ළඟා වීමට මීටර් 30ක් ඇතුළත හා පිටවන මීටර් 15ක් ඇතුළත වාහන නවතා තැබීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
එම ගැසට් පත්‍රය මඟින් බස් නෙරුව (Bus Bays) සහිත බස් නැවතුම් ස්ථානයට ලඟාවෙන පැත්තෙන් මීටර් 15ක් ද, පිටවීමේ දෙසින් මීටර් 10ක්ද ඇතුළත අනෙකුත් වාහන නතර කර තැබීම තහනම් කර ඇත.
ඒ අනුව පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නතර කර තැබීමට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
බස් රථ නැවතුම් ස්ථානවල වෙනත් වාහන නවතා තබන රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සියළු පොලිස් ස්ථානයන් දැනුවත් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
බස් නැවතුම්පොළවල වෙනත් වාහන නතර කර තැබීම හේතුවෙන් බස් රථ මාර්ගයේ මැද නතර කිරීමට සිදුවන අතර එමගින් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ජීවිත වලටද අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බවද පොලීසිය සඳහන් කරයි.
මේ වනවිට ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කිරීමට හැකියාව පවතින බස් රථ සේවාවක්ද හඳුන්වාදී තිබෙන බැවින් බස් රථ නැවතුම් ස්ථානවල බස් රථ නැවැත්වීමට හැකි පරිදි අවහිරතාවයන්ගෙන් තොරව පැවතිය යුතු බවද පොලීසිය සඳහන් කරයි.
