උණ්ඩියල් ක්‍රමයට අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් වෙනත් රටවලට ප්‍රේෂණය කිරීමේ සිදුවීමකට අදාළ මෙරට ප්‍රධාන පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් සිව්දෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු (20) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදේශවලට නීතිවිරෝධී ක්‍රමවේදයට පිටකිරීමේ සිදුවීමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් අද එම බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නීතිවිරෝධී මුදල් ප්‍රේෂණය සම්බන්ධව සිදුකළ විමර්ශන අනුව ජෙෆ්රි මොහොමඩ් නමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාර බැංකු කළමනාකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම නිලධාරීන් සිව්දෙනාට මෙම ජාවාරම් සිදුකළ බව කියන සැකකරු සතිපතා මුදල් ලබාදීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බව වාර්තා වන අතර අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලකුත් එක් අවස්ථාවක ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජෙෆ්රි මොහොමඩ් නැමැති, බැංකු මූල්‍ය වංචාවලට අත්අඩංගුවට ගත් තැනැත්තාගේ ප්‍රකාශ මත පදනම්ව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
මෙම සැකකරු මෙරටට භාණ්ඩ ආනයනය කරන බව පවසමින් සමාගම් 36කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවා ඇති බවත් ඒවාට බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ පෞද්ගලික බැංකු 4ට ගොස් ඇති බවත් එලෙස භාණ්ඩ ආනයනය කරන බව සඳහන් කොට රටින් මුදල් පිටට ගියත් මෙරටට එවැනි භාණ්ඩ ආනයනය කර නොමැති බව නිලධාරියා අධිකරණයට සඳහන් කරයි.
අත්අඩංගුවට ගැනුණු බැංකු නිලධාරීන් සිව්දෙනා අදාළ සැකකරු පෞද්ගලිකව හමුවී බැංකු කටයුතු සිදුකරදී ඇති බවත් සෑම සිකුරාදාවකම පාහේ එවැනි හමුවීම් සිදුව ඇති බවද එම නිලධාරියා සඳහන් කරයි.
බැංකු නිලධාරීන් වශයෙන් සමාගමකට අදාළව බැංකු ගිණුම් විවෘත කිරීමේදී අදාළ සමාගම් ලියාපදිංචි ඒවා දැයි පරීක්ෂා කළයුතු වුවත් එලෙස නොකර මෙම නිලධාරීන් අපරාධකාරී මනසකින් ගිණුම් විවෘත කරන්න ආධාර අනුබල ලබාදී ඇති බවද සඳහන් කරයි.
තවද, රටින් පිටවූ මුදල් අතරින් රුපියල් මිලියන 6.5ක මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බවටත් තොරතුරු වාර්තා වන බවත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බැවින් ඒ අනුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් පසුව සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන (20) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

