අඩු ජනන පිරිවැයකින් සාධාරණ මිලකට ජනතාවට විදුලිය

LIVE

සුනිත්‍ය බලය උපයෝගී කරගනිමින් පවිත්‍ර විදුලි ජනනය සහ අඩු ජනන පිරිවැයකින් සාධාරණ මිලකට ජනතාවට විදුලිය ලබාදෙන බව වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

සාධාරණ මිලකට ජනතාවට විදුලිය ලබාදීම, කාර්යක්ෂම, විශ්වාසදායක සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමේ රජයේ සැලසුම බවද වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10/මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණු අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව සඳහන් කරයි.

වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“අපි දන්නවා ලෝකයේ බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ යුගවල, විවිධ අවස්ථාවන්වල හැරවුම් ලක්ෂ සමඟ ඉදිරියට ගමන් කර ඊළඟ අවධියට පැමිණ තිබෙනවා. ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය, විශේෂයෙන් විදුලි බල ක්ෂේත්‍රය ගත්විට අද කිසියම් පරිවර්තනීය වෙනසක් සිදු වන අවස්ථාවක්. වත්මන් රජයට වසර දෙකක් සම්පූර්ණ වන මෙම අවස්ථාවේ මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ ඇති කරන මෙම පරිවර්තනීය වෙනස ඉතා වැදගත් කියා අපි විශ්වාස කරනවා.

අපි දන්නවා දැනටමත් මෙගාවොට් 3,000කට ආසන්න ප්‍රමාණයක් අපි දිවා කාලයේ සූර්ය බලයෙන් ජනනය කරනවා. දිවා කාලයේ සාමාන්‍යයෙන් මෙගාවොට් 2,800ක පමණ විදුලිබල අවශ්‍යතාවයක් තමයි තිබෙන්නේ. එහෙත් රාත්‍රී කාලයේදී අපිට මෙගාවොට් 3,100ක් වගේ ප්‍රමාණයක අවශ්‍යතාවයක් තිබෙනවා. එල්නිනෝ තත්ත්වයත් එක්ක සමහර විට ලබන පෙබරවාරි මාසය වන විට එම ඉල්ලුම වඩා වැඩි වෙයි කියා පුරෝකථනය කර තිබෙනවා.

අපිට තිබෙන ප්‍රශ්නය තමයි මේ දවල් කාලයේදී අතිරික්තව ජනනය කරන සූර්ය බලය ගබඩා කිරීමේ හැකියාවක් මේ දක්වා නොතිබීම. එම ගැටලුව මගහරවා ගැනීම වෙනුවෙන් අපි මේ වන විට මෙගාවොට් 160ක ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙනවා. WINDFORCE ආයතනය එතනින් මෙගාවොට් 130ක් සම්බන්ධයෙන් වගකීම දරමින් කටයුතු කරනවා. අපි විශ්වාස කරනවා මේ වසර අවසන් වීමට පෙර මේ මෙගාවොට් 160ම ජාතික පද්ධතියට එකතු කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා.

ඒ වගේම තවත් මෙගාවොට් 400ක, 250ක් සහ 150ක් ආදී වශයෙන් මේ ආකාරයේම බැටරි ගබඩා කරන ලංසු කැඳවීම් කටයුතු අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. සමහර ඒවා ඇගයීම් අවස්ථාවේ තිබෙන්නේ. අපි විශ්වාස කරනවා 2027 අවසන් වීමට පෙර, බොහෝ වෙලාවට පළවෙනි මාස 6 ඇතුළත එම ව්‍යාපෘති අපේ පද්ධතියට එකතු කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා.

මේ තුළින් එක් පැත්තකින් සුනිත්‍ය බලය වැඩි ප්‍රමාණයක් මගින් ජාතික පද්ධතියට එකතු කර ගැනීමේ හැකියාව, ඒ වගේම රාත්‍රී කාලයේදී විශාල වශයෙන් පොසිල ඉන්ධන මගින් විදුලියය ජනනය කිරීමේදී දැරීමට සිදුවන අධික පිරිවැය අඩු කරගැනීම අපිට හැකියාව ලැබෙනවා.

වැඩි වශයෙන් සුනිත්‍ය බලය උපයෝගී කරගනිමින් පවිත්‍ර විදුලි ජනනය සහ අඩු ජනන පිරිවැයකින් සාධාරණ මිලකට ජනතාවට විදුලිය ලබාදීම මෙන්ම කාර්යක්ෂම, විශ්වාසදායක සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමේ අප රජයේ සැලසුම් යථාවත් කර ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest