පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියෙකුගෙන් ලබාගත් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය තවත් බැංකු ගිණුමකට අදාළව තොරතුරු අනාවරණය වී ඇත.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
එහිදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරිවරිය අධිකරණය හමුවේ සඳහන් කළේ,
“Ceylone premier sports limited නමින් ගිණුමක් තිබෙනවා. එම ආයතනය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරලා තියෙනවා. නමුත් ඔහු එම ආයතනයේ කිසිදු ධුරයක් දරලා නැහැ. එම ආයතනයේ සභාපති ලෙස කටයුතු කරලා තියෙන්නේ නිමල් පෙරේරා.
ඒ වගේම ස්වාමීනි., මෙම නඩුවේ පළමු සැකකරු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ දෙවන සැකකාර රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තාගෙන් විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවස්ථා කිහිපයකදී කැඳවීම් ලිපි යවා තිබෙනවා.
නමුත් ඊට ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ අනුව ඉදිරි පියවර ලෙස මොවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අපේක්ෂා කරනවා.
ස්වාමීනි., 2012/12/15 වැනි දින ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට මේ 4 වන සැකකාර නාමල් රාජපක්ෂ ලිපියක් යවා තිබෙනවා. ඒ කාල්ටන් සුපර් 7 රග්බි තරගාවලියට නිමල් පෙරේරා ලබාදුන් මුදල්වලට ස්තූති කරලා.
එම ලිපිය මහාධිකරණයේ විභාග වන නඩුකරයකට ඉදිරිපත් කර තිබෙනවා මේ වනවිට. ඒ අනුව ස්වාමීනි., 4 වැනි සැකකරුගේ අත් අකුරු පරීක්ෂා කිරීමට අපේක්ෂා කරනවා. සැකකරු දූෂණ විරෝධි පනතේ 149 වගන්ති ප්‍රකාරව අධ්‍යක්ෂවරයාගේ සහතිකයක්ද සමගයි අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.
විමර්ශන සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ එම සැකකරුවන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් නාමල් රාජපක්ෂ ලබන (16) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝගය කළේය.
