අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් (13) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය (07) නියෝග කළේය.
ශිරන්ති රාජපක්ෂට රෝගී තත්ත්වයක් පවතින බවත් හිටපු ගමන් කරකැවිල්ල ඇතිවී ක්ලාන්ත වී වැටෙන බැවින් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ බරපතළ ජීවිත අවදානමක් ඇතිවෙන්න පුලුවන් බව, ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කළේ,
“ස්වාමීනි., 2011 වසරේ මැයි (09) වැනිදා අදාළ මුදල් බැංකු ගිණුමට බැර කරලා තියෙනවා. දෙවන සැකකාරිය විසින් පළමු සැකකරුව මේ වරද සිදු කිරීමට පොළඹවා තිබෙන බව අනාවරණය වෙනවා. මේ සැකකාරිය මුදල් ඉල්ලා සිටින්නේ රීස්වේ ආර්යා ළමා රෝහලෙන් CT ස්කෑන් යන්ත්‍රයක් අවශ්‍ය බව කළ ඉල්ලීමකට අනුව බව ලිපියේ සඳහන් කර තිබෙනවා.
නමුත් එවැනි ඉල්ලීමක් රෝහලෙන් සිදුකර නැහැ. ඒ අවස්ථාව වනවිටත් රීජ්ගේ ආර්යා ළමා රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තිබිලා. ඒ අනුව දෙවන සැකකාරිය පළමු සැකකරුට මෙම වරද සිදු කිරීමට ආධාර අනුබල දෙමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් හා 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 8 වන වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදු කර තිබෙනවා.
ඒ අනුව සැකකාරිය දූෂණ විරෝධි පනතේ 139 / ආ වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහතිකය ද ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඉදිරි විමර්ශන තවමත් සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි.”
පළමු සැකකාර ප්‍රදීප් කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස සඳහන් කළේ,
“ස්වාමීනී., මගේ සේවාදායකයා ස්ලීප් ඇප්නියා රෝගයෙන් පීඩා විදිනවා. ඔහුට නින්දෙදී පැය දෙකකට හමාරක කාලයක් අතරතුරදී 17ක් වරක් හුස්ම හිර වෙනවා. ඒ නිසා ඔහු අවදි වෙනවා. ඔහුට හුස්ම හිර වෙන නිසා හුස්ම ගන්න තමා ඔහුව නින්දෙන් ඇහැරවන්නේ. ඇහැරුන් නැත්නම් ඔහු මැරෙනවා.
මරණය නතර කරන්න තමයි එලෙස ඇහැරෙන්නේ. ඒ නිසා ඔහුට නිසි නින්දක් ලබා ගන්නේ මැෂින් එකක් ආධාරයෙන්. තවද ඔහුගේ හිසේ පිටුපස ගෙඩි දෙකක් තිබෙනවා. ඒ නිසා ඔහුගේ ස්නායු ද දුර්වල වෙලා තිබෙන්නේ. ඔහුට ඒ නිසාම ජීවිත අවධානමකුත් තිබෙනවා.
ඒ වගේම පරණ අල්ලස් පනතෙන් තමා මගේ සේවාදායකයාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. අල්ලස් පනත ඔස්සේ මගේ සේවාදායකයාව ඇප පනතේ 14 වගන්ති ප්‍රකාරව මේ අධිකරණයට ඇප ලබාදීමට හැකියාවක් තිබෙනවා.”
අනතුරුව දෙවන සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ සඳහන් කළේ,
“ස්වාමීනී., මගේ සේවාදායිකාවට වයස අවුරුදු 73යි. ඇය රෝගී තත්ත්වයන් කිහිපයකින් පෙලෙනවා. ඇය 2019 සිට හෘද රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබන තැනැත්තියක්. මෙවන් ආකාරයට හෘද රෝගී තත්ත්වයෙන් පසුවන තැනැත්තියක් බන්ධනාගාර ගත කළහොත් ආතතියෙන් මිය යන්න පුළුවන්.
මොකද ස්වාමීනී., ඇයට හාට් ඇටෑක් ඒමේ අවදානමක් තිබෙනවා. මොකද ඇයගේ හෘදයේ ධමනි කිහිපයක්ම කොලෙස්ටරෝල් වලින් අවහිර වෙලා තියෙන්නේ. ඒ වගේම 2021 මොලේ ස්කෑන් එකක් කර තිබෙනවා. ඇයට රෝගී තත්ත්වයක් තිබෙනවා. හිටපු ගමන් කරකැවිල්ල ඇතිවී ක්ලාන්ත වි වැටෙනවා. එය සිදුවන වේලාවක් කියන්න බැහැ.
ඇයගේ පිටකොන්දේ කොදුඇට පෙළෙහිද ආබාධ තත්ත්වයක් තියෙනවා. ඇයට වෙරිකෝස් තත්ත්වයක්ද තියෙනවා. ඒ නිසා ඇයට ඇයගේ දේවල් තනියෙන් කරන්න බැහැ. මේ තත්ත්වය තුළ ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ බරපතළ ජීවිත අවදානමක් ඇතිවෙන්න පුලුවන්.
ඒ වගේම විමර්ශන නිලධාරීන් කියන මුදල් ඔය කියන සුදුවැල්ල ශාඛාවේ ගිණුමේ තියෙනවා. මොකද අපිට CT ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට රුපියල් මිලියන 160ක මුදලක් අවශ්‍ය වුණාට 2014 වෙද්දිත් අපිට එකතු වෙලා තිබුණේ මිලියන 42යි. 2014 දී ආණ්ඩු පෙරලුනා විතරයි ඔය කියන පැමිණිල්ල ලැබුණාම අපේ ගිණුම තහනම් වුණා. ඒ නිසයි ස්කෑන් යන්ත්‍රය රෝහලට ලබා දීමට නොහැකි වෙන්නේ.
මුදල් ගිණුමේ තියෙනවා නම් මගේ සේවාදායිකාව වරදක් කලා කියන්නේ කොහොමද. මෙතන වරදක් වෙලා නෑ. ගිණුමේ තහනම ඉවත් වුණා නම් අදටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඕනේ නම් ඔය මුදල ගන්න පුළුවන්. අවාසනාවකට රාජපක්ෂ කෙනෙක් නිසා මේ තත්ත්වය උදාවෙලා. මගේ සේවාදායකයා අදත් මේ අධිකරණයට ඇවිල්ලා ඉන්නේ අක්ෂි ශල්‍යකර්මයකට භාජනය වෙලා.
එහෙම කෙනෙක්ව බන්ධනාගාරයේ නවත්වන්න පුළුවන්ද. එහෙම වුණොත් මගේ සේවාදායකයා සදාකාලිකව අන්ධ වෙනවා. ඇයට අවුරුදු 73ක්. 2019 සිට මැය හෘද රෝගී තැනැත්තියක්. 2021 වසරේ ඇයගේ මොළයේ කරපු පරීක්ෂණයකින් අනාවරණය වුණා.
මෙම තත්ත්වයන් සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා මගේ සේවාදායිකාවට ඇප ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා ස්වාමීනී.”
