ශ්‍රී ලංකා මුහුදට යන්න එපා.. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

LIVE

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කිරීම් නැවැත්වීමට එම ධීවරයන්ට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය මධ්‍යම රජයට හා තමිල්නාඩු රජයට නියෝග කර ඇත.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ධීවරයින් ඇතුළු පිරිසක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇත.

මෙම පෙත්සම සංජේ කුමාර් සහ සංජීව් සච්දේව් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.

ශ්‍රී ලංකාව සිය වෙරළ කලාප සහ මත්ස්‍ය සම්පත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත ප්‍රවේශයක් අනුගමනය කර ඇතැයි පෙනී යන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ අවදානම පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත.

ධීවරයින්ට ජාත්‍යන්තර මුහුදු සීමාවේ පිහිටීම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම සහ එය ඉක්මවා නොයන ලෙස කටයුතු කිරීම, ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් විය හැකි බවද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවක් සිහිපත් කළ විනිසුරුවරයා, ශ්‍රී ලාංකික ජනතාව පෙන්නුම් කරන වගකීම් සහගත හැසිරීම පිළිබඳව සිය අවධානය යොමු වූ බව සඳහන් කළ අතර එවැනි පරිසර හිතකාමී ප්‍රවේශයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත් සංරක්ෂණයට ද යම් දායකත්වයක් ලබාදී තිබිය හැකි බව සඳහන් කළේය.

1 Comment
Most Voted
Newest Oldest