ශ්රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අද (14) දින අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ නඩුව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ අද (14) දින කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.
නඩුවේ දෙවන සැකකාරිය වන ප්රියංකා නියොමාලි සහ තෙවන සැකකාර ශමින්ද්ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීමට ජාත්යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත් ඒ ඔස්සේ ක්රියාකරමින් සිටින බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ නඩුව නොවැම්බර් (18) වැනිදා යළි කැඳවීමට මහේස්ත්රාත්වරයා දින නියම කළේය.
අනතුරුව අධිකරණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ නඩු විභාගයෙන් අනතුරුව නැවතත් බන්ධනාගාරය බලා පිටව ගියේය.

