රියදුරු බලපත්‍රය අත්හිටුවන අලුත්ම ක්‍රමය.. දින 07ක් ඇතුළත අනිවාර්යයි

නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක රියදුරු අකුසලතා ලකුණු 30 ආසන්න වනවිට, කැපී ඇති ලකුණු ගණන සහ ඉතිරිව ඇති ලකුණු ප්‍රමාණය පිළිබඳව කෙටි පණිවුඩයක් (SMS) මාර්ගයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

යම් රියැදුරෙකු අකුසලතා ලකුණු 30 සීමාව ඉක්මවා ගිය සැණින් ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවූ බවට කෙටි පණිවුඩයක් ලැබෙන අතර එම අවස්ථාවේ සිට දින 07ක් ඇතුළත අදාළ බලපත්‍රය පොලිසිය වෙත භාරදීම අනිවාර්ය බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

නියමිත දින 07 ඇතුළත බලපත්‍රය භාර නොදී ප්‍රමාද කළහොත්, එම බලපත්‍රය අත්හිටුවන කාලසීමාව බලපත්‍රය භාරදෙන දිනයේ සිට ඉදිරියට ගණනය වන බැවින් තහනම් කාලය තවත් දීර්ඝ වන අතර එලෙස භාරගන්නා බලපත්‍ර පොලිසියේ විශේෂ ආකෘති පත්‍රයක් ද සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.

සාමාන්‍යයෙන් දැනට පවතින සාකච්ඡාවලට අනුව මෙලෙස අකුසලතා ලකුණු පූර්ණය වන රියැදුරෙකුගේ බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවනු ලබන අතර එම තහනමට ලක්වන රියැදුරෙකු මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අනුමත කරන ලද පුහුණු පාඨමාලාවකට සහභාගි වන්නේ නම්, වසරක තහනම් කාලසීමාව මාස 03 දක්වා අඩු කරගැනීමේ හැකියාව පවතී.

මාර්ග වැරදි 47ක් සඳහා මෙම ලකුණු කැපීමේ ක්‍රමවේදය අදාළ වන අතර අන්තරාදායක සහ අපරික්ෂාකාරී රිය ධාවනය වැනි බරපතළ වැරදි සඳහා වෙන් කර ඇති උපරිම අකුසලතා ලකුණු සංඛ්‍යාව 7ක් වන අතර යම් රියැදුරෙකු එකවර වැරදි කිහිපයක් සිදුකළද, ඒ අතරින් උපරිම දඬුවම් හිමිවන වරදට අදාළ ලකුණු ප්‍රමාණය පමණක් කැපීමට කටයුතු කරයි.

0 Comments
Most Voted
Newest Oldest