මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බටහිර ආසියානු කලාපයේ ඇතිවී තිබෙන අර්බුදය සහ ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 35කට අධික වේ.
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන පිරිවැය 93%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශයේ වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙයි.
ඒ අනුව ඉන්ධන පිරිවැය ඉහළ යාම සහ විදේශ විනිමය බලපෑම් මත 2026 – 2027 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආසන්න වශයෙන් වාර්තා කර ඇති මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 12.5කි.
මුදල් අමාත්‍යංශයේ වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව 2026 – 2027 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බදු පෙර අලාභය රුපියල් බිලියන 35.6කි.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අඛණ්ඩව ව්‍යුහාත්මක මුල්‍ය සහ ද්‍රවශීලතා අභියෝග වලට මුහුණ දෙමින් සිටින බව සඳහන් කරයි.
මෙහෙයුම් හිඟය, ඉහළ ඉන්ධන සහ නඩත්තු පිරිවැය යන කරුණු හේතුවෙන් සිය මෙහෙයුම් සහ මුල්‍ය වගකීම් ඉටුකර ගැනීමට ප්‍රමාණවත් අභ්‍යන්තර මුදල් ප්‍රවාහයක් ජනනය කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇති හැකියාව සීමා වී ඇති බවද අදාළ වාර්තාවේ දැක්වෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව පවතින ඉහළ ණය බර ඊට ප්‍රධාන හේතුවක් වන අතර අදූරදර්ශී තීන්දු තීරණ නිසා වසර ගණනාවක් පුරාවට පාඩු ලැබුවේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ලැබු පාඩුව,
2012 – රුපියල් මිලියන 17,208
2013 – රුපියල් මිලියන 26,857
2014 – රුපියල් මිලියන 31,365
2015 – රුපියල් මිලියන 16,329
2016 – රුපියල් මිලියන 12,083
2017 – රුපියල් මිලියන 28,339
2018 – රුපියල් මිලියන 18,585
2019 – රුපියල් මිලියන 41,700
2020 – රුපියල් මිලියන 44,139
2021 – රුපියල් මිලියන 49,704
2022 – රුපියල් මිලියන 163,583
2023 – රුපියල් මිලියන 71,306
