ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සෝග් (Isaac Herzog) විසින් සාමුහිකව රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) වෙත පැවරීමට තීරණය කර ඇත.
පසුගියදා පැවති මැතිවරණයෙන් වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කණ්ඩායමට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.
නව රජයක් පිහිටුවීම සඳහා විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් වෙත දින 28ක කාලයක් හිමිවන අතර අවශ්‍ය වුවහොත් එය තවත් දින 14කින් දීර්ඝ කිරීමට හැකියාව පවතී.
ආසන 120කින් යුත් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ආසන 53ක් අගමැති නෙතන්යාහුගේ සන්ධානය විසින් දිනාගෙන ඇති අතර විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ගේ කණ්ඩායම දිනාගෙන ඇත්තේ ආසන 48ක් පමණයි.
අරාබි ජාතික ඡන්ද දායකයින්ගේ සහභාගීත්වය ඉහළ යාම හේතුවෙන් අරාබි සන්ධාන දෙකක් මෙවර මැතිවරණයේදී ආසන 19ක් දිනාගැනීමට සමත්ව ඇත.
ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා වලින් අනතුරුව අගමැති ධුරය සඳහා විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නිර්දේශ 67ක් ලැබී ඇත.
එහිදී වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලැබී ඇත්තේ නිර්දේශ 46ක් පමණයි.
ඒ අනුව නව රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර ඒ අනුව ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන නිල උත්සවයක් සඳහා ඔහුට ආරාධනා කර ඇත.
