ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය (Material Recovery Facility – MRF) විවෘත කිරීමේ නිල උත්සවය කාත්තන්කුඩි නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන “Clean Sri Lanka” ජාතික වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කර තිබේ.
සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය වශයෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ තෝරාගත් පළාත් පාලන ආයතනවල ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
කාත්තන්කුඩි නගර සභාව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ඉවතලන නොදිරන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කිරීම සහ ඒවා පරිසරයට අවිධිමත් ලෙස බැහැර කිරීම අවම කිරීම මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වේ.
ඒ තුළින් ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීම, පරිසර දූෂණය අවම කිරීම, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැවත ලබාදීම සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම අපේක්ෂා කෙරේ.
අපද්‍රව්‍ය කළමනාකරණයේදී අඩු කිරීම (Reduce), නැවත භාවිත කිරීම (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම (Recycle) යන 3R සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ තවත් වැදගත් අරමුණකි.
නිවෙස් වලින් නිසි පරිදි වෙන් කර ලබාදෙන ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය විධිමත්ව එකතු කිරීම, වෙන් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය මඟින් පහසුකම් සැලසෙනු ඇත.


