අත්අඩංගුවට ගත් හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් ලබන (18) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.
මෙම සැකකරුගේ ඉල්ලීම පරිදි බඳවාගත් සේවකයින් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ඔහු රුපියල් 2,768,836.14ක පාඩුවක් රජයට සිදුකර ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,
“ස්වාමීණී.. 2025 වසරේ ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදුකිරීම ආරම්භ කළා.“
“මෙම සැකකරු 2022 වසරේ ජූලි මස හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත හා පරිපාලන) ලෙස පත්වීමෙන් අනතුරුව මාස එක හමාරකින් පමණ පසුව අධ්‍යාපන අමාත්‍යාශයේ සේවකයින් දෙදෙනෙකු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවකයින් දෙදෙනෙකු තම කාර්යාලයට අනුයුක්ත කරන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව අදාළ සේවකයින් දෙදෙනා මොහුගේ කාර්යාලයට අනුයුක්ත වීම සිදු වෙනවා. ඉන්පසුව තමාට තාවකාලික පදනම යටතේ සේවකයින් දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා සැකකරු ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව තාවකාලික පදනම යටතේ කළමනාකාර සහකාරවරුන් දෙදෙනෙකු බඳවා ගැනීමටත් කටයුතු කරනවා.
මෙසේ බඳවා ගත් තාවකාලික සේවකයින් දෙදෙනා ඉවත්ව ගිය පසු ඒ ආකාරයෙන් ම තවත් සේවකයින් දෙදෙනෙකු බඳවා ගැනීම සිදු වෙනවා. මෙසේ තාවකාලිකව බඳවාගත් සේවකයින් දෙදෙනා ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරලා නැහැ.
ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාර්තා කර ඇඟිලි සලකුණු තැබීම හෝ පැමිණීමේ ලේඛනවලට අත්සන් තැබීමක් සිදු කර නැහැ. නමුත් මොවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවා තිබෙනවා. මෙසේ බඳවා ගත් සේවකයින්ගෙන් තුන් දෙනෙකු මෙම සැකකරුට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලක සේවයේ යොදවා තිබෙනවා.
මින් සේවකයින් දෙදෙනෙකු 2024 වසරේ විදේශගත වීමෙන් පසුවත් මාස දෙකක් වැටුප් ගෙවා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වුණා. මින් එක් සේවකයෙකු මේ වන විටත් ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ කළමනාකාර වශයෙන් කටයුතු කරනවා.
මොහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ප්‍රකාශය සටහන් කළ දින සිට දින තුනකින් පසුව මේ සේවකයා දිවුරුම් ප්‍රකාශයක් රැගෙන අල්ලස් කොමිසමට පැමිණියා. එම දිවුරුම් ප්‍රකාශයෙන් ඔහු සඳහන් කර තිබෙනවා, තමන් කලින් ලබාදුන් ප්‍රකාශයේ යම් යම් වෙනස්කම් තිබෙන බවත් දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සත්‍ය බවත්.
එම දිවුරුම් ප්‍රකාශයේ ඔහු සඳහන් කර තිබෙනවා සැකකාර අකිල විරාජ් කාරියවසම් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් කුලියාපිටියේ පිහිටි ඉන්ධන පිරවුම් හල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ තිබුණු බවට. කලින් දුන් ප්‍රකාශයේ ඔහු එවැන්නක් සඳහන් කළේ නෑ.
මේක එම සාක්ෂිකරු මුලින්ම ලබාදුන් ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පටහැනියි. එල්ල වූ බලපෑමක් හේතුවෙන් මෙම දිවුරුම් ප්‍රකාශය මෙම සැකකරු විසින් ඉදිරිපත් කර ඇති බවට සැක පහළ වී තිබෙනවා. එම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඒ වගේම ප්‍රකාශය සටහන් කර ගත් අවස්ථාවේදී මේ සැකකරු විසින් ලේඛන කිහිපයක් අල්ලස් කොමිසමට භාර දුන්නා. ඒ අතරින් සමහර ලේඛන මෙම වසරේ සකස් කළ ඒවා බවට සැක පහළ වී තිබෙනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදුකළ යුතුයි.”
අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේ,
“ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මෙම විමර්ශනයට අංශ දෙකකින් බලපෑම් එල්ල විය හැකි බවට කරුණු ඉදිරිපත් වී තිබෙනවා. මෙම විමර්ශනයේ සාක්ෂිකරුවෙකු මුලින් ම අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයට පරස්පර කරුණු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් පසුව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා.
කිසියම් බලපෑමක් හේතුවෙන් මෙවැනි ක්‍රියාවක් සිදුවන්නට ඇතැයි අධිකරණයට අනුමිතියකට එළඹීමට හැකියාව තිබෙනවා. එමෙන් ම සැකකරු විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ ලේඛනවල ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන පවතින බවටත් එම කොමිසම සිය බී වාර්තාවෙන් සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් විමර්ශන සිදුකළ යුතුයි.”
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන මෙන් අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම සේවකයින් සේවයට වාර්තා කර ඇති බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මීළඟ දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නියම කළේය.

