පසුගියදා මීගමුව සහ මහර බන්ධනාගාරවල සිදුවූ ගැටුම් වලින් අනතුරුව දකුණු පළාතේ බූස්ස ඇතුළු බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇත.
මීගමුව සහ මහර බන්ධනාගාර ආශ්‍රිතව මෑතකදී වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්ව හමුවේ දකුණු පළාත තුළ එවැනි කිසිදු සිදුවීමක් ඇති නොවීමට වගබලා ගැනීම ප්‍රධාන අරමුණ වේ.
ගාල්ල, බුස්ස, මාතර, අඟුණකොළපැලැස්ස සහ වීරවිල බන්ධනාගාරවල වත්මන් තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩුගේගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී මේ බව තීරණය කර ඇත.
දකුණු පළාතේ ජනතාවගේ ආරක්ෂාව, ජීවිත දේපළ සහ සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
දිවයිනේ සෙසු බන්ධනාගාරවල වූ සිදුවීම් වලින් පාඩම් ඉගෙන ගනිමින්, බුද්ධි තොරතුරු හුවමාරුව කාර්යක්ෂම කිරීමටත්, සියලු ආරක්ෂක අංශ ඒකාබද්ධව ඕනෑම හදිසි තත්ත්වයකට කඩිනමින් ප්‍රතිචාර දැක්විය හැකි යන්ත්‍රණයක් සූදානම්ව තබා ගැනීමටද මෙහිදී උපදෙස් ලබාදී ඇත.

