Local news

දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කරයි.!

දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කරයි.!

නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

මෙමගින් දිස්ත්‍රික්ක 05 ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය. 

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, කුන්ඩසාලේ, පාතහේවාහැට, පානවිල, මැදදුම්බර, දොළුව, තුම්පනේ, උඩුනුවර, දෙල්තොට, ගඟඉහළ කොරලය, පස්බාගේ කොරළය, යටිනුවර, හතරලියද්ද, උඩුදුම්බර, මිනිපේ, උඩපළාත, ගඟවට කෝරළය, අකුරණ, පූජාපිටිය, හාරිස්පත්තුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, රඹුක්කන, යටියන්තොට, වරකාපොල, 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, රිදීගම, පොල්ගහවෙල, මල්ලවපිටිය, මාවතගම, නාරම්මල

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නෙළුව, යටියන්තොට, ලග්ගල, පල්ලේගම, පල්ලේපොල, මාතලේ, රත්තොට, අඹන්ගඟ කොරළය, විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරක්කෙත, මතුරට, නිල්දණ්ඩාහේන, වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉවත් වෙන ලෙස දන්වා රතු නිවේදන නිකුත් කර තිබේ.

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණාතොට, හාලිඇළ, මීගහකිවුල, පස්සර, 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, නෝවුඩ්, අඹගමුව කොරළය, තලවාකැලේ, කොත්මලේ නැගෙනහිර, නුවරඑළිය, 

රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල, කහවත්ත, කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවධානයෙන් සිටින ලෙසත් අනතුරු ඇඟවීම් කර තිබේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, 

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, යක්කලමුල්ල, 

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, දිවුලපිටිය, 

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, 

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, බලන්ගොඩ, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, කල්තොට, කලවාන, ඕපනායක, අයගම, නිවිතිගල, ඉඹුල්පේ, ඇලපාත, රත්නපුර, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්බවින් සිටින ලෙසත් අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

ශ්‍රී ලංකාවට ආධාර රැගත් 09 වන ඉන්දීය යානයත් කටුනායකට ගොඩ බහී.!

ශ්‍රී ලංකාවට ආධාර රැගත් 09 වන ඉන්දීය යානයත් කටුනායකට ගොඩ බහී.!

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බව වාර්තා වෙයි.

මෙම ගුවන් යානය තුළ අඩි 110ක් දිගැති, මෙට්‍රික් ටොන් 65ක් බරැති බේලි පාළමක්, ජේ.සී.බී.බැකෝ යන්ත්‍රයක් ද ඒ අතර වන බව වාර්තා වෙයි.

ඒ සමඟ ඉන්දියාවේ යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13දෙනෙකු ද සහාය දැක්වීම සඳහා මෙරටට පැමිණි බව වාර්තා වෙයි.

මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ජනතාවට සුරක්ෂිත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ජනපති වැඩ අරඹයි.!

ජනතාවට සුරක්ෂිත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ජනපති වැඩ අරඹයි.!

ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

දිස්ත්‍රීක්කයේ මහා මාර්ග, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම වාරිමාර්ග සහ සන්නිවේදන පද්ධතිය යථාවත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කඩිනම් වැඩසටහන්වල ප්‍රගතිය සහ අවසන් කෙරෙන කාලය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙන් වෙන්ව විමසා බැලීය.

ස්ථීර ලෙස මාර්ග පද්ධතිය ඉදිකරන තුරු ඉදිරි දින 25 සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මාර්ග පිළිසකර කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රීක්කයේ ජල සැපයුම් දින 03ක් තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා එතෙක් බවුසර් මගින් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමටත්, එම කටයුතුවලදී සාමාන්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් හදිසි අවශ්‍යතාවක් සේ සලකා ප්‍රසම්පදාන කටයුතු සිදු කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික සහාය ලබා ගැනීමටත් උපදෙස් දුන්නේය.

එමෙන්ම නිවාස වල ළිං සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමෙන් සිදු කිරීමටද උපදෙස් දුන් අතර විශාල ප්‍රතිසංස්කරණ කටයුතු දෙවන අදියරට තබා ගනිමින් තාවකාලික පිළිසකර කිරීම් තුළින් මෙම දෙසැම්බර් (31) වනදා වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමටද උපදෙස් දුන්නේය.

එමෙන්ම වගා කළ හැකි බිම් හඳුනාගෙන ඒවා වගා කිරීමට ප්‍රමඛතාව ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉක්මණින් වගා කළ හැකි කුඹුරු හඳුනාගෙන ඒවාට අවශ්‍ය වාරි ජලය සැපයීමටත්, එහිදී මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමත් අවධාරණය කළේය.

එමෙන්ම ඉක්මණින් වගාකළ හැකි ගොවීන් ප්‍රමාණය සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ 02ක වන්දි මුදල කඩිනමින් ලබා දීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාවෙන් හානියට පත් දිස්ත්‍රික්කයේ එළවළු වගාව පිළිබඳවද සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගනිමින් ඔවුන් වෙනුවෙන් ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක් වූ වන්දි මුදල් ලබා දීමටත්, කෙසෙල් වගාවට සිදු වූ හානි සඳහා එළවළු වගාවට ලබා දෙන වන්දි මුදලම ලබා දීමට හැකි වන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කිරීමත් උපදෙස් දුන්නේය.

ආපදාව හමුවේ පශු සම්පත් ක්ෂේත්‍රයට සිදු වූ බලපැම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ගොවිපොළ ප්‍රමාණය මෙන්ම සතුන් ප්‍රමාණය පිළිබඳ යාවත්කාලීන දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

විනාශ වී ගිය සත්ත්ව ගොවිපොළ නැවත කඩිනමින් ආරම්භ කරමින් එම ගොවීන්ගේ ආදායම් මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සහ කිරි, කුකුළු මස්, බිත්තර ඇතුළු රටේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ඉන්ධන සැපයුම යථාවත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර මාර්ග අවහිර වීම හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වී ඇති පුස්සැල්ල සහ මීතලාව යන ප්‍රදේශවලට මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සම්බන්ධීකරණයෙන් අද සවස් වන විට ඉන්ධන සැපයීමටද උපදෙස් දුන්නේය.

එමෙන්ම මහනුවර දිස්ත්‍රීක්කයේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබදවද සාකච්ඡා කෙරුණු අතර නියමිත පරිදි විභාග පැවැත්වීම වෙනුවෙන් පාසල් ආරම්භ කිරීමේදී කාල පරතරය අවම කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

දිස්ත්‍රීක්කයේ සෞඛ්‍ය, දුම්රිය මාර්ග, සහ සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවරද මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

නිවාස හානි සහ එම ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද සාකච්ඡා වූ අතර එම කටයුතුවලදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කාර්යභාරය සහ කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරා ගැනීම පිළිබඳ සාකච්ඡා විය.

එමෙන්ම ජනතාව යළි පදිංචි කිරීම වෙනුවෙන් ඒ ආසන්න ප්‍රදේශවල ඇති රජයේ ඉඩම් හඳුනාගෙන ඉදිරිපත් කරන ලෙසත් අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් එම ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනතාව වඩා සුරක්ෂිතව යළි පදිංචි කිරීම රජයේ අරමුණ බවත්, විනාශ වූ සහ අර්ධ හානි සිදු වූ නිවාස වෙනුවෙන් ලබා දෙන වන්දි නිසි අයුරින්ම එම කටයුතු සඳහා යොදවන්නේද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමක් සිදු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සියලු වන්දි මුදල් 2025 අයවැය යටතේ ලබා දීම සිදුවන බැවින් 2026 අයවැය බරක් නොවීමට නම් දෙසැම්බර් 31 වනදාට පෙර මෙම සියලු වන්දි ලබා දීම් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය.

ගම්පොළ ප්‍රදේශයේ කුණු බැහැර කිරීමේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර ඊට දීර්ඝකාලීන විසදුමක් ලෙස මහවැලියට අයත් ඉඩම නිදහස් කරන තුරු විදුලිබල මණ්ඩලයට අයත් ඉඩම තාවකාලිකව ලබා දීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් රාජ්‍ය ආයතනවල සිදුව ඇති හානිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ගංවතුර, සුළි කුණාටු සහ නාය යාම් වැනි ස්වභාවික ආපදාවන් වැළැක්විය නොහැකි නමුත්, එමගින් ජීවිත සහ දේපළවලට සිදුවන හානි වළක්වා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මධ්‍ය කඳුකරය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර දිරාපත් වෙමින් පවතින මධ්‍ය කඳුකරය යළි සුවපත් කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

නැවත මෙවන් ව්‍යසනයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවල බලතල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනවසර ඉදිකිරීම් සඳහා මින් ඉදිරියට ඉඩ නොදිය යුතු බවත්, එම ස්ථානවලට විදුලි සැපයුම ලබා නොදීමට විදුලිබල මණ්ඩලයටද වගබලා ගත යුතු බවත් පෙන්වා දුන්නේය.

ව්‍යසනයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළද ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රජයට හැකියාව ලැබී තිබෙන බවත්, තවත් කෙටි කාලයක් සියලුදෙනා එකට වැඩ කිරීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව සිදු කරන කැපවීම මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මුදිත හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ, තනුර දිසානායක, රියාස් මොහොමඩ්, මොහොමඩ් පස්මීන්, තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ ප්‍රේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරිප්පෙරුම මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු සියලු රේඛීය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අපේ මනුස්සකමත් එක්ක වැටුණු තැනින් යළි නැගිටිමු.. අපිට පුළුවන්.!

අපේ මනුස්සකමත් එක්ක වැටුණු තැනින් යළි නැගිටිමු.. අපිට පුළුවන්.!

දිට්වා සුළි කුණාටුවේ බලපෑමත් සමග ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරාම ජනතාවට නායයාම් වලට සහ ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා මරණ සංඛ්‍යාව 611ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පුද්ගලයින් 213 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් නිවාස 67505 කට අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 4164ක් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා සහන සේවා කණ්ඩායම්, හා ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් වූ කණ්ඩායම් මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි හමුදා හා සහන සේවා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ජනජීවිතය යථාවත් කිරිමේ වැඩ කටයුතු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකය.

ඔවුන් දිවා රෑ නොබලා විපතට පත් ප්‍රෙද්ශවල මාර්ග, විදුලිය ජල සැපයුම් ආදී යටිතල පහසුකම් ගොඩනැගිම හා ජනතාවගේ පහසුකම් සැලසීමට පියවර ගනිමින් සිටියි.

මේ රටේ සුවහසක් ජනතාව අදත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව ගැන මහා බරපතළ විශ්වාසයකින් ජීවත් වේ.

තම දිවි දෙවැනි කොටගෙන ජීවිතය පුජා කරමින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් කරපු සහ තවදුරටත් කැප කිරීම් කරමින් සිටියි.

මේක ලංකාවේ ඉතිහාසයේ ජනතාව මුහුණ දුන්න ලොකුම විනාශය වන අතර එම ලොකුම විනාශය විශාල අභියෝගයක් කරලා භාරගත්ත වත්මන් ආණ්ඩුව රට තිබුණටත් වඩා හොද රටක් නිර්මාණය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත.

දෙවන ලෝක යුද්ධයේදී පරමානුක බෝම්බයත් සමග පොළවට සමතලා වු ජපානය අද වනවිට ලෝකයම පරාජය කරමින් නැගිටපු ලස්සන රටක්.

ඉතින් අපිට නැගිටින්න බැරිද.? නෑ.. පුළුවන්. අපිට නැගිටින්න පුළුවන්. අපි කොතරම් බාධක ආවත් අත්හරින්නේ නැති ජාතියක්. අපි වැටුණාම හිටියටත් වඩා ඉක්මනින් නැගිටින්න පුළුවන් ජාතියක්.

සුළි කුණාටුව ආපු වෙලාවයි, කුණාටුව ගැන කියපු නැති එකයි, කන්ද නාය යන බව කියපු නැති එකයි, ජලාශවල ජලය ඇරියේ නැත්තේ ඇයි කියා අහන මන්දබුද්ධික සමහර දේශපාලඥයින්ට වඩා ජනතාව වෙනුවෙන් උදේ, දවල්, රෑ කැපවීමෙන් වැඩ කරන ජනතාව ඇත්තටම සැබෑ වීරයන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක (05) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“මේ අහිමි වූ කිසිවකුගේ ජීවිත අපිට යළි ලබා දෙන්න බැහැ. එය තමයි ඛේදනීය යථාර්ථය. හැබැයි ආණ්ඩුවක් ලෙස පුරවැසියන් ලෙස අපිට වගකීමක් තිබෙනවා. අපේ අපේක්ෂාව විය යුත්තේ ජීවත්වන සියලු දෙනාට, තිබූ තත්ත්වයට වඩා හොඳ ගුණාංගවලින් පිරි රාජ්‍යයක් නිර්මාණය කිරීමයි.

ඒ නිසා අපේ රටේ ජනතාව යළි මෙවැනි ඉරණමකට ලක් නොවන අන්දමේ ක්‍රියාමාර්ග ගැනීමටත්, මීට වඩා හොද රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාත් උපරිම වෙහෙස මහන්සි වී කටයුතු කීරීමට අපි සූදානම්. එය අප වෙත පවරාගත් වගකීමක් සහ අත්හළ නොහැකි හෘදයාංගම බැඳීමක් බව මම සිතනවා.

මේ ව්‍යසනය හමුවේ වත් අපි පොදු න්‍යාය පත්‍රයකට එමින් රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කරමු. ඒ නිසා පොදු ජනතාව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම මම ආරාධනා කරනවා ජාතික සභාවක් ලෙස කටයුතු කර ඉදිරි වසර තුන හතර තුළ මේ ප්‍රශ්නය තිරසාර ලෙස විසදා ගනිමු කියලා.

ඒ වගේම ඒ සඳහා එක්වන ලෙස අපේ බුද්ධිමතුන්ට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ සියලුදෙනාට අපි ආරාධනා කරනවා. මේ ව්‍යසනය ඉතා වේදනාකාරී ව්‍යසනයක්. එහෙත් ඒ ව්‍යසනය හමුවේ අපි අලුත් මාවතක් තෝරා ගනිමු. මේ රාජ්‍ය යහපත් රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා මැදිහත් වෙමු කියා සියලු දෙනාට අරාධනා කරනවා.”

බ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියනයක ආධාර.!

බ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියනයක ආධාර.!

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය ස්ටර්ලිං පවුම් මිලියනයක් දක්වා ඉහළ දමා ඇත.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මීට පෙර ස්ටර්ලිං පවුම් 675,000ක මානුෂීය ආධාර ප්‍රමාණයක් ලබාදෙන බවට නිවේදනය කර තිබුණේය.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.!

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ තීරණයක්.!

වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ තීරණයක්.!

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කර ඇත.

පසුගිය නොවැම්බර් (24) වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර දැනුම් දී ඇත. 

ඒ අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

පුරවැසිභාවය අහෝසි කරන ට්‍රම්ප්ගේ නියෝගය.!

පුරවැසිභාවය අහෝසි කරන ට්‍රම්ප්ගේ නියෝගය.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ම පුරවැසිභාවය අහෝසි කිරීමේ විධායක නියෝගයකට පසුගියදා අත්සන් කළේය.

එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් විධායක නියෝගයට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සමක් සලකා බැලීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

එම පෙත්සම විභාග කිරීම සඳහා දිනයක් නියම කර නොමැති අතර අමෙරිකානු ‍පහළ අධිකරණය කිහිප වතාවක් එම විධායක නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට ප්‍රකාශ කළේය.

එම විධායක නියෝගය මගින් නීතිවිරෝධී ලෙස අමෙරිකාවේ සිටින හෝ තාවකාලික වීසා මත රට තුළ සිටින පුද්ගලයින්ට උපදින දරුවන්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ශේප කිරිමයි.

සජබ වැලිගම හිටපු නගරාධිපති සහ ආසන සංවිධායක පක්ෂයෙන් ඉල්ලා අස් වෙයි.!

සජබ වැලිගම හිටපු නගරාධිපති සහ ආසන සංවිධායක පක්ෂයෙන් ඉල්ලා අස් වෙයි.!

පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මඟ පෙන්වීම සමඟ නොගැලපෙන බව පවසමින් සමගි ජන බලවේගයේ වැලිගම හිටපු නගරාධිපති, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමු කළ බවයි.

සිය ලිපියෙන් ඔහු තවදුරටත් මෙලෙස පවසා තිබුණා.

 “නායකතුමනි,

පක්ෂයේ වර්තමාන දිශානතිය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව හුදු පාක්ෂික දේශපාලනික දෘෂ්ටියකින් ඔබ්බට ගොස් ගැඹුරු ස්වයං විවේචනයක යෙදීමේදී, මාගේ හෘද සාක්ෂිය සහ පක්ෂයේ ගමන් මග අතර දැඩි දෘෂ්ටිමය විෂමතාවක් නිර්මාණය වී ඇති බව තේරුම් ගතිමි.

රාජ්‍ය නායකත්වයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ පවතින අර්බුද හමුවේ, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය හුදු අර්ථශූන්‍ය ප්‍රහසනයක් බවට පත්ව ඇති මොහොතක, එකී ව්‍යුහාත්මක සීමාවත් අතික්‍රමණය කොට වඩාත් පුළුල් වූත්, අපක්ෂපාතී වූත් ජාතික මෙහෙවරකට අවතීර්ණ වීම කාලීන ධර්මතාවයක් ලෙස මම දකිමි.

මාගේ පක්ෂය කෙරෙහි පවත්නා බැඳීම අභිබවා යන මාගේ දේශය කෙරෙහි ඇති වගකීම පෙරදැරි කරගෙන, ස්වාධීන දේශපාලන මාවතක් තෝරා ගැනීමේ අභියෝගාත්මක තීරණයට එළැඹීමට මම අදහස් කළෙමි.

මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘභූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දීර්ඝ කාලික අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා ගනු ලැබූ තීරණයක් බව අවධාරණය කරනු කැමැත්තෙමි.

එනයින්, අද දින සිට බල පැවැත්වෙන පරිදි සමඟි ජන බලවේගයෙන් ඉල්ලා අස්වෙන බව මෙයින් දන්වා සිටිමි.

මෙතෙක් මා හට ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වන අතර, මෙම තීරණය මාගේ සේවය වඩාත් අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන්, නිදහස් මනසකින් යුතුව ගත් තීරණයක් බව දන්වා සිටිනු කැමැත්තෙමි.”

ආපදාව අස්සේ කල්පිටියෙන් ගොඩබාන්න හැදූ කුඩු කිලෝ 77ක් අල්ලයි.!

ආපදාව අස්සේ කල්පිටියෙන් ගොඩබාන්න හැදූ කුඩු කිලෝ 77ක් අල්ලයි.!

නාවික හමුදා නිලධාරීන් විසින් කල්පිටිය මුහුදු තීරයේ ගමන් කරමින් තිබූ සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය කිලෝ 77කට අධික ප්‍රමාණයක් නාවික භාරයට ගෙන ඇත.

ඊයේ (05) රාත්‍රියේ සිදුකළ මෙම මෙහෙයුමේදී පොහොර උර 03 ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718ක් හා හෙරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් වාර්තා වෙයි.